E   |     |  

2023-11-06

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත්කෙරේ

  • සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාවට අවසන් තීරණයක් ලබා දෙන්න - කාරක සභාවෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස්

 

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, ජනතාවාදී,වගකීමක් සහිත තත්ත්වයට පත් කිරීම සඳහාත්,සමස්ත ආයතන හා රජය, විවෘත හා වගකීමක් ඇති තත්ත්වයකට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ  යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කිරීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කටයුතු කරන ලදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයාට වඩාත් ප්‍රශස්ථ, ජනතාවාදී රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, කාර්යය සාධනය, සුහදශිලිභාවය හා වගවීම තවුරුවන රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකිවනුසේ මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට මෙලෙස වියත්, බුද්ධිමතුන්ගෙන් සමන්විත අනු කමිටුවක් පත්කිරීමට පියවර ගත් බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.

මෙම අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද ඇතුළුව සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතයි.
ඒ අනුව මෙම අනු කමිටුවේ සභාපතිවරයා ලෙස කාරක සභා සාමාජික පාර්මේන්තු මන්ත්‍රී ගරු උදයන කිරිඳියගොඩ මහතා පත් කර ඇත.

එමෙන්ම අනු කමිටුව නියෝජන කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ  ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ  ලේකම් ,අධිකරණ අමාත්‍යාංශ  ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය  එච්.ඩී.  කරුණාරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික හා ආර්ථික අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජානක ප්‍රනාන්දු, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් එම්.කේ.එස්.එස්. රත්නායක, මාධ්‍යවේදී අශෝක ඩයස් (සිරස මාධ්‍ය ජාලය), පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානයේ සභාපති මංජුල ගජනායක , සර්වෝදය ව්‍යාපාරයේ සභාපති මෙන්ම  ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න , කාරක සභා සභාපති උපදේශක  උපදේශක අචාර්ය කේ.ඒ. තිලකරත්න යන මහත්වරුන් පත්කර ඇත.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිරි සැළසුම් වලට අදාළව ඉදිරිපත් කර තිබෙන එම දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාව පිළිබඳවද කමිටුවේදී සාකච්ජා විය.මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ අංශ සමග සාකච්ඡා සිදුකර ඇති බව සිහිපත් කළ   සභාපතිවරයා මෙම ගැටලුවට සතියක් තුළ විසඳුමක් ලබාදෙන ලෙසට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවීමේ ගැටලුව පිළිබඳවද සාකච්ජා විය. එහිදී මෙම ගැටලුවටද සියලු පාර්ශ්ව එක්ව සාකච්ජා කර අවසන් තීරණයක් ලබාදීමට කටයුතු කරන ලෙසටද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම මෙහිදී සමෘද්ධි නිලධාරීන්ගේ ඔප්ෂන් මාරුකිරීම සම්බන්ධයෙන් දැනටමත් එකඟ වී ඇති ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම පිළිබඳව ලිඛිතව දැනුවත් කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය එකඟ විය.  මෙම ලිඛිත ගිවිසුම ලැබීමෙන් පසු අදාළ ගැටලුව විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ කරන ලදී.

විශ්‍රාමික සමෘද්ධි නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ලබාදීමේදී, වැල් පොලිය අය නොකර හිඟ දායකත්ව මුදල් අයකර ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මෙම ගැටලුවට ලබාදුන් දුන් විසඳුම සති දෙකක් ඇතුළත කමිටුවට දැනුම් දිය යුතු බව  ප්‍රකාශ කළේය.

අදාළ ගැටලුවට විසඳුමක් ලබාදීමේදී මානුෂීය පැතිකඩ පිළිබද අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය. විශ්‍රාමික සමෘද්ධි නිලධාරීන්ට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ගෙවනු ලබන පොලී සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලිපිය තාවකාලිකව අවලංගු කරන ලෙසට සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

සමෘද්ධි නිලධාරීන් තැන්පත් කර ඇති සේවක භාරකාර අරමුදල් විශ්‍රාම වැටුප් බවට පත්කිරීමේදී 4%ක බද්දක් අය කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය. ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසඳුම් ලබා දියයුතු බවද සභාපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම වැන්දඹු හා අනත්දරු හිඟ මුදල් ගෙවීමේදී 4% අතිරේක පොලියක් අයකිරීම නුසුදුසු බව කාරක සභාව අවධාරණය කරන ලදී.

 

1 3

 



සම්බන්ධිත පුවත්

2026-09-18

පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වා මහතාට


2026-09-18

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීමේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට විශේෂ කාරක සභාව තීරණය කරයි

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10)  රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.


2026-09-17

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය  ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස්  එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks