පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-03
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුව හමුවට කැඳවීම පසුගියදා සිදු විය. මින් පෙර 2023.09.06 දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සූදානමකින් තොරව කෝපා කමිටුවට පැමිණීම හේතුවෙන් නැවතත් 2023.10.20 දින කැඳවීමට තීරණය වූ අතර ඒ අනුව මෙසේ නැවත කැඳවීම සිදු විය.
මේ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එදින රැස් විය.
මේ අනුව මෙහිදී ක්‍රීඩා සංවර්ධන සැලැස්ම පිළිබඳ පැහැදිලි කරන ලෙස කමිටුව ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් වන සැලසුම කමිටුවට ඉදිරිපත් කරන ලදි. මෙහිදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවද මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.
තවද ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යසාධනය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. මේ අනුව රුපියල් බිලියන 4 පමණ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සඳහා වියදම් කර තිබුණද මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු කොට නැති බවද මෙහිදී කමිටුව අනාවරණය කළේය.
ක්‍රීඩාව සම්බන්ධයෙන් දත්ත පවත්වාගෙන යෑමට සකස් කළ දත්ත සමීක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මෙම දත්ත පද්ධතිය 2016 වර්ශයේදී ක්‍රීඩාව සම්බන්ධ දත්ත පවත්වාගෙන යාමේ අරමුණෙන් සකස් කළ බවත් වර්තමානයේද හොඳ ක්‍රියාකාරී මට්ටමක පවතින බවත් මෙහිදී පැමිණි නිලධාරීන් පැවසීය. ඒ අනුව එහි මනා ක්‍රිාකාරීත්වයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය කමිටුව පෙන්වා දුන්නේය.
එසේම ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි වසර වලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ කමිටුවට ඉදිරිපත් කිරීම සහ ඉදිරි වසර වලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කරන ලදි. තවද ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ සුසන්තිකා ජයසිංහ මහත්මිය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සකස්කිරීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් පවතින බවයි. මේ අනුව එවැනි දක්ෂතා සහිත ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ 5දෙනෙක් සකස් කිරීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමෙන් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් සිදු කරන ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු නිරෝෂන් පෙරේරා, ගරු වීරසුමන වීරසිංහ සහ ගරු සහන් ප්‍රදීප් විතාන යන මහත්වරු සහභාගී වූහ.
2026-09-18
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

