E   |     |  

2023-10-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මැද පෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

මැද පෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය සහ ඒ මගින් ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දේශ සීමා සම්බන්ධයෙන් පවතින ගැටුම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ තෙල්මිල වැඩිවීම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තය යන අංශ ඔස්සේ ශ්‍රී ලංකාවට මෙහිදී බලපෑමක් සිදු විය හැකි බවයි.

එසේම මැදපෙරදිග තත්ත්වය ආශ්‍රීතව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ ගතවීමේ උනන්දුව පිළිබඳවද කමිටුව විසින් විමසන ලදි. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මැද පෙරදිග රැකියාවලට යෑම සම්බන්ධයෙන් මේ දිනවලද ශ්‍රී ලාංකිකයින් තුළ පවතින උවමනාවේ අඩුවක් වී නොමැති  බවයි. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම කාලසීමාව තුළ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම සීමා කොට ඇති බවද මෙහිදී පැවසීය.  

තවද ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේදී හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර වලට  ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුටද හසුවී ඇතැයි ව්‍යාප්ත වන පුවත සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදු කරන බවත් එම රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත්  පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.

තවද ඊශ්‍රායල රටේ දැනට රැකියාවල නිරතවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳවද කමිටුව මෙහිදී පරීක්ෂා කරන ලදි. මෙහිදී  පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ එසේ විදේශ ගතවී සිටින ශ්‍රමිකයින් සිටින ප්‍රදේශ ආරක්ෂිත බැවින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද ගරු නාමල් රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට නිර්දේශ කරන ලදි.

තවද තමිල්නාඩුවේ සිටින ශ්‍රි ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් මෙම කමිටුවේ අවධානය යොමුකොට එම සරණාගතයින් මෙරටට ගෙන්වීම පිළිබඳ සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් යෝජනා කරන ලදි. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂා කර බලා මෙම කමිටුවට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාර්ශ්ව වෙත කමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation)  ඊශ්‍රායලය සහ පලස්තීනයේ ආර්ථිකයන් සහ මෙම රටවල් සමග ශ්‍රී ලංකාවේ වෙළද සබඳතා පිළිබඳව පෙන්වා දෙන ලදි. තවද ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම්ට සම්බන්ධ කරගත් තරුණ නියෝජිතයින්ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් තම ගැටලු පිළිබඳව විමසන ලදි.

මෙම කාරක සභාව සඳහා කමිටු සාමාජිකයන් වන ගරු මහාචාර්‍ය ජී. එල්. පීරිස්, ගරු අකිල එල්ලාවල, ගරු ශානක්කියන් රාසමානික්කම්, ගරු යදාමිණී ගුණවර්ධන සහ ගරු (නීතිඥ) මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ වූහ.

එසේම මෙම කමිටුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2026-09-18

පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වා මහතාට


2026-09-18

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීමේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට විශේෂ කාරක සභාව තීරණය කරයි

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10)  රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.


2026-09-17

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය  ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස්  එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks