E   |     |  

2023-10-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලන දුර්වලතා රැසක්! - අක්‍රමිකතා පිළිබදවත් ‘කෝප්’ කමිටුව විමර්ශනය කරයි

  • ජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව හෙළි වෙයි - වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් තුළ ස්ථිර පත්කිරීම් කඩිනම් කිරීමට නිර්දේශ
  • 2011 වසරේදී රු. මිලියන 10,000 කට ආසන්න  මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලෙස ලබාදීලා - සවිස්තරාත්මක වාර්තාවක් කැඳවයි
  • පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක්
  • 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නැහැ
  • ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සකස් කිරීම කඩිනම් කිරීමටත් නියෝග
  • විශාල සේවක ප්‍රමාණයක් පුහුණු සේවකයන් ලෙස බඳවා ගැනීම පිළිබදවත් ප්‍රශ්න කරයි
  • ණය එකතු කර ගැනීම සහ ණය ලබා දීමේ ක්‍රමවේදය මෙන්ම ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙසට නිර්දේශ
  • මාස තුනකින් නැවත කැදවීමක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.10.17  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳවා තිබිණි.

මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබදව  විමර්ශනය  කිරීම සිදුවිය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, සාමාන්‍යාධිකාරි (වැඩබලන) කේ.ඒ. ජානක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි. මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අනධානය යොමු විය.

 

ජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක්ම වැඩබලන තනතුරු ලෙස පැවතීම

අධිකාරියේ සාමාන්‍යධිකාරී තනතුර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව අනාවරණය විය. මෙහිදී ලේකම්වරයා පවසා සිටියේ මෙම අධිකාරිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව බඳවා ගැනීම් සිදු කර ඇති බැවින් එය නිවැරදි මාවතට ගැනීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. තවද උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කමිටුවක්ද පත්කොට මෙම තනතුරු ස්ථිර කිරීම සදහා නැවත සමාලෝචනය කරමින පවතින බවත් අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

මෙම ආයතනය රුපියල් බිලියන ගණනක් හුවමාරු වන ආයතනයක් බැවින් අධිකාරියේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) තනතුර පවා වැඩබලන තනතුරක් වීම විශාල ගැටළුවක් බැවින් මේ තත්ත්වය ඉක්මනින්ම නිවැරදි කරන ලෙස ද විගණකාධිපතිවරයා දන්වා සිටියේය.

මෙහිදී අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ වැඩබලන තනතුරු 16න් සුදුසුකම් ඇත්තේ 5කට ආසන්න පිරිසකට බවයි. මේ අනුව අභ්‍යන්තරිකව සුදුසුකම් සහිත පුද්ගලයන් මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කරන ලෙසද බාහිරින් ද සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා බඳවාගැනීමට කටයුතු කරන ලෙස ද නියෝග කෙරිණි. මේ අනුව මේ සදහා වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත් එම ක්‍රමවේදය සති දෙකක් තුළ කාරක සභාවට දැනුම් දෙන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව විසින් නියෝග කරන ලදී. තවද වර්තමානයට ගැළපෙන පරිදි තනතුරු ප්‍රතිසංවිධානය කරන ලෙසද උපදෙස් දුන්නේය.

 

කිසිදු ඇපයකින් තොරව රු. මිලියන 10000කට ආසන්න මුදලක් ණය වශයෙන් ලබා දීම

ආයතනයේ සමුච්චිත අලාභය රුපියල් බිලියන විස්සකට ආසන්න බව මෙහිදී අනාවරණය විය. එසේම පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක් ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. තවද රුපියල් බිලියන 10 ක පමණ මුදලක් ණය ලාභීන්ගෙන් එකතු කර ගැනීමට නියමිතව ඇති බවත් හෙළිවිය.

විවිධ ආණ්ඩු සහ අමාත්‍යවරුන්ගේ පාලනය හමුවේ අධිකාරියේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව මෙහිදී වත්මන් සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2011 වසරේදී ‘උපහාර’ නම් නිවාස ණය යෝජනා ක්‍රමයක් යටතේ  රුපියල් මිලියන 10,000 කට ආසන්න  මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලාභීන්ට ලබාදී ඇති බව මෙහිදී හෙළි විය. රාජ්‍ය බැංකු හරහා ලබා දී තිබූ මෙම ණය මඟින් ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් පමණක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය තුළ මෙම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, තවත් බිලියන තුනකට අධික ප්‍රමාණයක අයකර ගැනීමට ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මේ අනුව මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳව සංක්ෂිප්ත වාර්තාවක් කඩිනමින් කමිටුවට ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය. තවද ආයතනයේ වත්කම් ඇපයට තබාගනිමින් මෙවැනි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද පැමිණ සිටි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්ට නිර්දේශ කරන ලදී.

 

වාර්ෂික වාර්තා ප්‍රමාද වීම

අධිකාරිය 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොතිබීම ගැන දැඩි අප්‍රසාදය පළ විය. මේ අනුව 2019, 2020,  2021 යන වසරවල වාර්ෂික වාර්තා 2023 නොවැම්බර් 17 දිනට පෙර ද 2022 වාර්ෂික වාර්තාව දෙසැම්බර් 31 ට පෙර ද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

 

සියලු දිස්ත්‍රික්කවල ණය දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සැකසීම

නිවාස සඳහා ලබාදී ඇති ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් තවමත් සකස් කර නොමැති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව කඩිනමින් ඒකාබද්ධ දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. මෙම හේතුවෙන් විශාල වශයෙන් මේ වන විට වංචා සිදු වී ඇති බව ද විගණකාධිපතිවරයා හෙළි කළේය.  නිලධාරීන් පැවසුවේ දැනටමත් සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් දත්ත පද්ධතියක් සැකසීම ආරම්භ කර ඇති බවත් දෙසැම්බර් 31 වන විට සියලු කටයුතු අවසන් කරන බවයි.

 

අතරමග නතර වී ඇති  නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු නැවත ඇරඹීම

පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් වැඩ ආරම්භ කර ඇති නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු අතරමඟ මේ වන විට නතර වී ඇති බවද අනාවරණය විය.  මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට තවත් රුපියල් මිලියන 24000ක් අවශ්‍ය බවද මේ වන විට රුපියල් මිලියන 3750 ක් වෙන් කර ඇති බවද සභාපතිවරයා පැවසීය. මේ අනුව ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයට ඉල්ලීම් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

විශාල සේවක ප්‍රමාණයක් පුහුණු සේවකයන් ලෙස බඳවාගෙන බඳවා ගෙන තිබීම

මෙහිදී අනාවරණය වූයේ 2015- 2019 කාලයේ දී පුහුණු සේවකයන් 5296 බඳවා ගෙන ඇති බවත් ඉන් 2800කට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවත්ය. ඔවුන් ක්ෂේත්‍ර  රාජකාරි සඳහා යොදවා ඇති බවත් ඔවුන් සඳහා වැටුප් ලෙස රුපියල් මිලියන 2148 ක් ගෙවා ඇති බවත් අනාවරණය විය. නිලධාරීන් පවසා සිටියේ අනවශ්‍ය පුහුණු සේවක පිරිස ඉවත් කිරීමෙන් පසු මේ වන විට පුහුණු සේවකයන් 167 දෙනෙකු පමණක් සේවය කරන බවයි.

 

විශේෂ නිර්දේශ ත්‍රිත්වයක්

මෙහිදී ණය එකතු කර ගැනීමේ ක්‍රමවේදය,  ණය ලබා දීමේ ක්‍රමවේදය සහ ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම වඩාත් විනිවිද බවකින් යුතුව ඉඩම් පිළිබදව ලේඛනයක් වෙබ් අඩවියේ හෝ වෙනයම් ක්‍රමයකට ප්‍රසිද්ධ කිරීම සිදු කරන ලෙසට ද නියෝග කෙරිණි.

 

එසේම මාස තුනකින් නිවාස සංවර්ධන අධිකාරිය නැවත කැදවීමටත් තීරණය විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලාන්සා, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු එස්.එම් මරික්කාර්, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම් රාමේශ්වරන් සහ ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභාවට සහභාගී වූහ.

 

1 9

 



සම්බන්ධිත පුවත්

2026-04-29

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විශේෂ කාරක සභාව හමුවට

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කැඳවා තිබිණි.එම කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු විමසීම සිදු කෙරිණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරු ඇතුළු එම ආයතනවල ජේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.   ස්වාභාවික ආපදා අවස්ථාවකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී කාරක සභාව විසින් කරුණු විමසන ලදී.එසේම පවතින යාන්ත්‍රණයේ අඩුලුහුඩුකම් සහ අදාළ තාක්ෂණික උපාංගවල අඩුපාඩු පිළිබඳව ද මෙහිදී නිලධාරීහු කරුණු පැහැදිළි කළහ. එසේම  වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ද ඉදිරියේදී කාරක සභාව හමුවට කැඳවා එම ආයතන ද මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසීමටත්, අනතුරුව මෙම ආයතන වෙන් වෙන් වශයෙන් කැඳවා දිට්වා සුළි කුණාටුවට සම්බන්ධ සිද්ධීන් පිළිබඳව විමරශනය කිරීමටත් මෙහිදී තීරණය විය. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ඇන්ටන් ජයකොඩි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-04-28

2026 අයවැය මගින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ ප්‍රතිපාදන සහ වැඩසටහන් පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමාත්‍යාංශ කිහිපයක් සමග සාකච්ඡා පවත්වයි

ආබාධ සහිත  තැනැත්තන්  සඳහා 2026 අයවැය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව  අමාත්‍යාංශ කිහිපයක්   සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  සාකච්ඡා පවත්වන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙම රැස්වීමේදී උසස් අධ්‍යාපනය, ආගමික හා සංස්කෘතික ස්ථාන, අබාධ සහිත තැනැත්තන්  සඳහා  ප්‍රවේශ පහසුකම් සහිත නිවාස, ව්‍යවසායකත්වයට ණය ප්‍රවේශය සහ තාක්ෂණික නව නිපැයුම් යන ක්ෂේත්‍ර  සම්බන්දයෙන් ඒක්  එක් අමාත්‍යාංශ  කරුණු ඉදිරිපත් කරන ලදී.ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, 2024/2025 දී ආබාධ සහිත ශිෂ්‍යයන් 143ක් බඳවා ගත් බවත්, 2025/2026 දී එය 203 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්ය. සෑම විශ්වවිද්‍යාලයකටම යටිතල පහසුකම් සඳහා රු. මිලියන 25-50 බැගින් වෙන් කර ඇති අතර, අඩු ආදායම්ලාභී ආබාධ සහිත සිසුන්ට රු. 5,000ක අමතර මාසික දීමනාවක්   ද ලබාදීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහු පැවසුහ.එමෙන්ම  විශ්වවිද්‍යාල කිහිපයක   වෛද්‍ය පීඨ සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ නියමු ව්‍යාපෘතියක් (Pilot study) ක්‍රියාත්මක කරන බවද ඔවුහු පැවසුහ. එමෙන්ම  විශ්වවිද්‍යාල  සඳහා ස්ථිර සංඥා භාෂා පරිවර්තකවරුන් බඳවා ගැනීමටත්, හදිසි අනතුරු නිසා ආබාධිත වන සිසුන් හඳුනාගෙන ඔවුන්ට රෝද පුටු වැනි ආධාරක උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.මේ අතර ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව කටයුතු  සිදු කිරීම සඳහා  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ දැනටමත් සම්බන්ධිකරණ නිලධාරීන් පත් කර ඇති බව එම අමාත්‍යාංශයේ  නිලධාරීහු පැවැසුහ. මෙහිදී සංසදයේ සභාපතිවරයා ආගමික ස්ථානවලට, විශේෂයෙන් විහාරස්ථානවලට ආබාධ සහිත තැනැත්තන්ට භෞතිකව ප්‍රවේශ වීමේ පහසුකම් පිළිබඳව පවතින ගැටලු පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු කළේය. ඒ  අනුව ආගමික හා ඓතිහාසික ස්ථානවල ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි යටිතල පහසුකම් සැපයීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වෙමින්  එම කටයුතු කිරීමට තීරණය විය.නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන  අමාත්‍යාංශය බස්නාහිර පළාතේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා රු. මිලියන 500ක් වෙන් කර ඇති අතර, 2026 දී නිවාස 9,700ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව  සංසදයේදී අනාවරණය විය. ආබාධ සහිත පිරිසට  ණය දීමේදී විශේෂ ලබාදීමේ  ක්‍රමවේදයක් යොදා  ඇති බවත්  එමෙන්ම  “ආදර්ශ සැලැස්මක්” සකස් කර ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලන නිවාස ඉදිකිරීමට කටයුතු කිරීමට අමාත්‍යාංශය එකඟ විය.ආබාධ සහිත තැනැත්තන්ගේ විශේෂ අවශ්‍යතා සලකා බලා සකස් කරන ලද නම්‍යශීලී "ආදර්ශ සැලසුම්"  මත ඔවුන්ගේ නිවාස ඉදිකිරීමට  අමාත්‍යාංශය කටයුතු කිරීමට  සැළසුම්  කරන  බව  අමාත්‍යාංශ නිලධාරීහු සංසදයට දැන්වූහ.මෙහිදී කරුණු දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දුන්නේ බැංකු සහ ආබාධ සහිත ව්‍යවසායකයන් අතර “විශ්වාසයේ පරතරය” නිසා ණය ලබා ගැනීමට දැඩි අපහසුතා ඇති බවයි. ඒ අනුව, ආබාධ සහිත ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් සඳහා ණය ඇපකර යෝජනා ක්‍රමයක් (Credit Guarantee Scheme) හඳුන්වා දීමේ හැකියාව සොයා බලන ලෙස සභාපතිවරයා  විසින් අමාත්‍යාංශයට උපදෙස් ලබා  දෙන ලදී.තවද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නව නිපැයුම් වාණිජකරණය කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව සඳහා පහසුකම් සපයන පර්යේෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව පැවසීය. ආධාරක උපකරණ (assistive devices) නිෂ්පාදනය සඳහා පර්යේෂණ කණ්ඩායම් පොළඹවන ලෙසටත්, ඒවා වෙළඳපොළට ගෙන ඒමේදී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසටත් සංසදය විසින්  අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.ඊට අමතරව තරුණ කටයුතු හා ක්‍රීඩා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු, විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක  හා පරිසර  යන  අමාත්‍යාංශයන්  හි නිලධාරිහුද ඔවුන්ගේ අදහස් දැක්වූහ.ඒ අනුව එක්  එක් අමාත්‍යාංශ මගින්  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉහත සියලු සැලසුම්වල ප්‍රගතිය මාස හයකින් නැවත සමාලෝචනය කිරීමට ද මෙහිදී  සංසදය තීරණය කර  කරන ලදී.   මෙම රැස්වීම සඳහා  සංසදයේ  නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්යලිංගම් මහතා,සංසදයේ  සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන පද්මසිරි බණ්ඩාර, චන්දිම හෙට්ටිආරච්චි සහ සංසදයේ සභාපතිවරයාගේ අවසරය මත  ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.කේ. ජයසුන්දර, ජගත් මනුවර්ණ යන  මත්වරුන් ඇතුළුව   නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. තවද  ආබාධ සහිත කාන්තාවන්ගේ දේශීය සංසදය, ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය, Little People Association, Youth Network with Disabilities (YND) ඇතුළු සංවිධාන වල නියෝජිතයින් සහ  සංසදයේ සභාපති  සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ආරාධනය පරිදි අබාධිත ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් නිරික්ෂකයින් ලෙස හා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES) නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.


2026-04-10

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට

2017 පෙබරවාරි 22 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ 2021 - 2023 වර්ෂයේ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු පිළිබඳව සලකා බැලේශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2017 පෙබරවාරි 22 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සිදු කෙරිණි. එසේම 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්ය සාධනය සලකා බැලීමද සිදු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් 2026.04.07 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳ අවධානය යොමු වූ අතර 2025 දෙසැම්බර් 31 දින වන විට අවසන් නොවූ මූලික විමර්ශන ප්‍රමාණය 1538 පමණ වන බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.  මේවායෙන් මූල්‍ය වංචා 40 කට අදාළව රු. 69,999,317ක වටිනාකමැති විමර්ශන අවසන් කර නොතිබුණු බවත් මෙම විමර්ශන 2007 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාල පරාසයක් පැවති ඒවා බවත් මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත් මේ නිසා විමර්ශන ප්‍රමාදවී ඇති බවත්ය. එසේ ප්‍රමාද වුවද 2016 දෙසැම්බර් වන විට පැවති විමර්ශන සංඛ්‍යාව 2711 ක් බවත් මේ වන විට එය 1538 දක්වා අඩු වී ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පවතින බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව මේ සම්බන්ධව වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.තවද තැපැල් මූලස්ථානයේ සහ දිසා ගිණුම් කාර්යාල 14ක සේවක පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා සවිකරන ලද ඇඟිලි සළකුණු යන්ත්‍රවල, කාර්යාලයෙන් පිටවීම 16.15 ලෙස සටහන්වී තිබුණද අදාළ සේවකයන්ගේ පිටවීම රාත්‍රී 7,8,9,10 යනාදී ලෙස ලේඛනයක ඇතුළත් කර තැපැල් මූලස්ථානයේ සේවකයන් 2023 වර්ෂයේ රු. 57919684 ක්ද, 2024 ජනවාරි සිට මැයි දක්වා රු. 7024144ක්ද, දිසා ගිණුම් කාර්යාල 14ක සේවකයින්ට 2024 ජනවාරි සිට ජුනි දක්වා රු. 373874705ක්ද සාවද්‍ය ලෙස අතිකාල දීමනා ගෙවා ඇති බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි. මෙහිදි නිලධාරීන් පෙන්වා දුන්නේ සේවක පුරප්පාඩු සංඛ්‍යාව 4000/5000 ක් පවතින බවත් මේ නිසා නිලධාරීන් අතිකාල ‍සේවයේ යෙදීමට සිදුව ඇති බවත්ය. ඒ නිසා මෙම ගෙවීම් සාවද්‍ය ගෙවීම් නොවන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ අතිකාල ගෙවීම සඳහා වෙන් කරන මුදල්වලින් යම් සේවකයින් ප්‍රමාණයක් බඳවාගෙන වැටුප් ගෙවීම සිදු කළ හැකි බවයි. මේ නිසා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි. තවද මේ සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.එසේම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් පාරිභෝගිකයන්ට අළෙවි කිරීම සඳහා 2015 වර්ෂයේදී ප්‍රකාශන පිටපත් 500ක් මුද්‍රණය කිරීම සඳහා රු. 2697300ක්ද, සිහිවටන පත්‍රිකා රඳවන සඳහා රු. 1092656ක්ද වියදම් කර තිබුණද 2025 නොවැම්බර් කරන ලද විගණන පරීක්ෂාවේදී මෙම ප්‍රකාශන අපේක්ෂිත පරිදි නිර්මාණය වී නොතිබීම හේතුවෙන් ‍අලෙවි නොකර මුද්දර කාර්යාංශයේ ගබඩා කර ඇති බව අනාවරණය විය. මේ අනුව මේ සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.මීට අමතරව 2024 වර්ෂය අවසාන වන විට මියගිය, විශ්‍රාම ගිය, වැඩ තහනම් කළ, සේවය හැරගිය හා වෙනත් නිලධාරීන්ගෙන් අයවිය යුතු ණය ශේෂය රු. 61225431 ක් වූ අතර එයින් වර්ෂ 5කට වැඩි කාලයක සිට පැවත එන ණය ශේෂය රු.20679788 ක් බව මෙහිදී අනාවරණය විය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් අයකරගැනීමට උපරිමයෙන් උත්සාහ කරමින් පවතින බවයි. එසේම එන්තරවාසි 17ක් යැවීමට කටයුතු කර ඇති බවද නිලධාරීහු පැවසූහ. මේ අනුව කාරක සභාවට ලබාදෙන වාර්තාවේ මීට අදාළ අයකරගැනීම් සිදු කරන ආකාරයද ඇතුළත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.මාස 3ක් ඇතුළත ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නැවත කාරක සභාව හමුවට කැඳවීම සිදු කරන බව කාරක සභාව අවසන් කරමින් කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ,  දිනිඳු සමන් හෙන්නායක, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, (නීතීඥ) තුෂාරි ජයසිංහ, (නීතීඥ) සාගරිකා අතාවුද, රුවන් තිලක ජයකොඩි, ‍ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-04-10

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් කරුණු විමසයි

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් කරුණු විමසන ලදී.ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරට පසුගියදා (අප්‍රේල් 07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දක්වමින් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීහු පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට සම්මත කොට ඇති 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව පෙන්වා දුන්හ. කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි නොවීම හේතුවෙන් එකී පනතේ විධිවිධාන ප්‍රකාරව මීලග පියවර ලෙස ගරු කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ගරු ජනාධිපතිවරයාට භාර දියයුතු වුවත් එම වාර්තාව භාරදී නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීහු විශේෂ කාරක සභාවට දැන්වූහ. ඒ අනුව පනත ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද ඔවුහු වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසූහ.ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම මූලික පනත නැවත බලගැන්වීම ඔස්සේ සිදුකිරීමේ හැකියාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසූහ. ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත අවලංගු කර නැවත මූලික පනත බලාත්මක කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය. එම පනත සඳහා කාන්තා සහ තරුණ නියෝජනය ලබාදීම සඳහා සංශෝධන එක්කිරීමේ අවශ්‍යතාවයද කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්හ.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත මගින් ඉදිරිපත්කර ඇති පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා 2017 පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන ) පනත පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දු දෙකක වාර්තා, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින බාධා සහ ඒවා නිරාකරණය කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.එමෙන්ම මීලග රැස්වීම සඳහා  සීමා නිර්ණ කොමිසමේ නිලධාරීහු කාරක සභාවට කැඳවීමටද  තීරණය කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුල්ලාෆර් යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks