2023-10-19
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.10.17 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳවා තිබිණි.
මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබදව විමර්ශනය කිරීම සිදුවිය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, සාමාන්‍යාධිකාරි (වැඩබලන) කේ.ඒ. ජානක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි. මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අනධානය යොමු විය.
ජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක්ම වැඩබලන තනතුරු ලෙස පැවතීම
අධිකාරියේ සාමාන්‍යධිකාරී තනතුර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව අනාවරණය විය. මෙහිදී ලේකම්වරයා පවසා සිටියේ මෙම අධිකාරිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව බඳවා ගැනීම් සිදු කර ඇති බැවින් එය නිවැරදි මාවතට ගැනීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. තවද උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කමිටුවක්ද පත්කොට මෙම තනතුරු ස්ථිර කිරීම සදහා නැවත සමාලෝචනය කරමින පවතින බවත් අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
මෙම ආයතනය රුපියල් බිලියන ගණනක් හුවමාරු වන ආයතනයක් බැවින් අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) තනතුර පවා වැඩබලන තනතුරක් වීම විශාල ගැටළුවක් බැවින් මේ තත්ත්වය ඉක්මනින්ම නිවැරදි කරන ලෙස ද විගණකාධිපතිවරයා දන්වා සිටියේය.
මෙහිදී අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ වැඩබලන තනතුරු 16න් සුදුසුකම් ඇත්තේ 5කට ආසන්න පිරිසකට බවයි. මේ අනුව අභ්‍යන්තරිකව සුදුසුකම් සහිත පුද්ගලයන් මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කරන ලෙසද බාහිරින් ද සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා බඳවාගැනීමට කටයුතු කරන ලෙස ද නියෝග කෙරිණි. මේ අනුව මේ සදහා වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත් එම ක්‍රමවේදය සති දෙකක් තුළ කාරක සභාවට දැනුම් දෙන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව විසින් නියෝග කරන ලදී. තවද වර්තමානයට ගැළපෙන පරිදි තනතුරු ප්‍රතිසංවිධානය කරන ලෙසද උපදෙස් දුන්නේය.
කිසිදු ඇපයකින් තොරව රු. මිලියන 10000කට ආසන්න මුදලක් ණය වශයෙන් ලබා දීම
ආයතනයේ සමුච්චිත අලාභය රුපියල් බිලියන විස්සකට ආසන්න බව මෙහිදී අනාවරණය විය. එසේම පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක් ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. තවද රුපියල් බිලියන 10 ක පමණ මුදලක් ණය ලාභීන්ගෙන් එකතු කර ගැනීමට නියමිතව ඇති බවත් හෙළිවිය.
විවිධ ආණ්ඩු සහ අමාත්‍යවරුන්ගේ පාලනය හමුවේ අධිකාරියේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව මෙහිදී වත්මන් සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2011 වසරේදී ‘උපහාර’ නම් නිවාස ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් මිලියන 10,000 කට ආසන්න මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලාභීන්ට ලබාදී ඇති බව මෙහිදී හෙළි විය. රාජ්‍ය බැංකු හරහා ලබා දී තිබූ මෙම ණය මඟින් ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් පමණක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය තුළ මෙම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, තවත් බිලියන තුනකට අධික ප්‍රමාණයක අයකර ගැනීමට ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මේ අනුව මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳව සංක්ෂිප්ත වාර්තාවක් කඩිනමින් කමිටුවට ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය. තවද ආයතනයේ වත්කම් ඇපයට තබාගනිමින් මෙවැනි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද පැමිණ සිටි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්ට නිර්දේශ කරන ලදී.
වාර්ෂික වාර්තා ප්‍රමාද වීම
අධිකාරිය 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොතිබීම ගැන දැඩි අප්‍රසාදය පළ විය. මේ අනුව 2019, 2020, 2021 යන වසරවල වාර්ෂික වාර්තා 2023 නොවැම්බර් 17 දිනට පෙර ද 2022 වාර්ෂික වාර්තාව දෙසැම්බර් 31 ට පෙර ද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.
සියලු දිස්ත්‍රික්කවල ණය දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සැකසීම
නිවාස සඳහා ලබාදී ඇති ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් තවමත් සකස් කර නොමැති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව කඩිනමින් ඒකාබද්ධ දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. මෙම හේතුවෙන් විශාල වශයෙන් මේ වන විට වංචා සිදු වී ඇති බව ද විගණකාධිපතිවරයා හෙළි කළේය. නිලධාරීන් පැවසුවේ දැනටමත් සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් දත්ත පද්ධතියක් සැකසීම ආරම්භ කර ඇති බවත් දෙසැම්බර් 31 වන විට සියලු කටයුතු අවසන් කරන බවයි.
අතරමග නතර වී ඇති නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු නැවත ඇරඹීම
පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් වැඩ ආරම්භ කර ඇති නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු අතරමඟ මේ වන විට නතර වී ඇති බවද අනාවරණය විය. මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට තවත් රුපියල් මිලියන 24000ක් අවශ්‍ය බවද මේ වන විට රුපියල් මිලියන 3750 ක් වෙන් කර ඇති බවද සභාපතිවරයා පැවසීය. මේ අනුව ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයට ඉල්ලීම් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විශාල සේවක ප්‍රමාණයක් පුහුණු සේවකයන් ලෙස බඳවාගෙන බඳවා ගෙන තිබීම
මෙහිදී අනාවරණය වූයේ 2015- 2019 කාලයේ දී පුහුණු සේවකයන් 5296 බඳවා ගෙන ඇති බවත් ඉන් 2800කට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවත්ය. ඔවුන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවා ඇති බවත් ඔවුන් සඳහා වැටුප් ලෙස රුපියල් මිලියන 2148 ක් ගෙවා ඇති බවත් අනාවරණය විය. නිලධාරීන් පවසා සිටියේ අනවශ්‍ය පුහුණු සේවක පිරිස ඉවත් කිරීමෙන් පසු මේ වන විට පුහුණු සේවකයන් 167 දෙනෙකු පමණක් සේවය කරන බවයි.
විශේෂ නිර්දේශ ත්‍රිත්වයක්
මෙහිදී ණය එකතු කර ගැනීමේ ක්‍රමවේදය, ණය ලබා දීමේ ක්‍රමවේදය සහ ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම වඩාත් විනිවිද බවකින් යුතුව ඉඩම් පිළිබදව ලේඛනයක් වෙබ් අඩවියේ හෝ වෙනයම් ක්‍රමයකට ප්‍රසිද්ධ කිරීම සිදු කරන ලෙසට ද නියෝග කෙරිණි.
එසේම මාස තුනකින් නිවාස සංවර්ධන අධිකාරිය නැවත කැදවීමටත් තීරණය විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලාන්සා, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු එස්.එම් මරික්කාර්, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම් රාමේශ්වරන් සහ ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභාවට සහභාගී වූහ.
2026-09-25
නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.
2026-09-24
ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 22) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාව සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.එමෙන්ම, ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.මේ අතර, දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම සඳහා දෙමළ භාෂාව හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යාපනය ඇතුළු ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමයින්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පවතින භාෂාමය අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ විය.දිවයින පුරා පවතින ළමා නිවාස පාලනය සහ අධීක්ෂණය විධිමත් කිරීම සඳහා මධ්‍යගත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක් විය. දරුවන්ට සිදු වන හිංසන වැළැක්වීම සඳහා එම ආයතනවල කළමනාකාරීත්වයේ වගකීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් විය. විදේශ රැකියාවල නිරත කාන්තාවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික වියදම් ප්‍රතිපූරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.එමෙන්ම, 2027 වසර වන විට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වා දීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු හා සහතික ක්‍රමවේදයක් ඇති කිරීම සහ පෙර පාසල්වල පවතින යටිතල පහසුකම්වල ගැටලු විසඳීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ළමා අපයෝජන නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබා දීම කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.ළමයින්ට සිදු කරන ශාරීරික දණ්ඩනය නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
2026-09-23
සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් 2026.09.22 දින පාර්ලිමේන්තුවට නිවේදනය කළ පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ද නිතිපතිවරයා කාරක සභාවට පැහැදිළි කිරීමක් සිදු කළේය. එසේම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ. යෝජිත සංශෝධන මගින් අධිකරණ ධාරිතාව පුළුල් කිරීම, අභියාචනා යුක්තිය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, විභාග වෙමින් පවතින නඩු වේගවත්ව අවසන් කිරීම, විනිසුරුවරුන්ගේ අත්දැකීම් රඳවා ගැනීම සහ විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන තිබේ.ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.තවද, පළාත්බද මහාධිකරණ මට්ටමේ අධිකරණ ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළාත්බද මහාධිකරණ විසින් බරපතළ අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන අතර, 2006 වසරේ සිදු කරන ලද සංශෝධනවලින් අනතුරුව පළාත්බද සිවිල් මහාධිකරණ මඟින් අභියාචනා අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩ ගැසීම සහ ඒවා අවසන් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් හේතුවෙන් අතිරේක අධිකරණ සහ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ අනුව; අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම මඟින් පළපුරුදු අධිකරණ නිලධාරින්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම ද මෙම සංශෝධන මගින් අපේක්ෂා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මීට අමතරව කාරක සභික නොවන මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නීතීඥ යූ.පී. අබේවික්‍රම හා ගයාන් ජනක යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-09-23
ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට රැස්විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, දිනේෂ් හේමන්ත සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙන්ම ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන සකස් කර භාවිත කිරීමේදී මුහුණ පාන ප්‍රායෝගික හා නෛතික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) මගින් සිදු කරන වෛද්‍ය පරීක්ෂණ, ආබාධිත තත්ත්වය අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්, වෛද්‍ය පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් ලබා දීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා පෙනීමේ පරාසය ඇතුළු වෛද්‍ය නිර්ණායක සලකා බලමින් රියදුරු බලපත්‍ර ලබා දෙන වාහන වර්ග පුළුල් කිරීම,වාහනවලට ගැළපෙන ආරක්ෂිත උපකරණ සවි කිරීම සහ ඉදිරි ගැසට් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි..ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වය, විශේෂ සලකුණු භාවිතය සහ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන නවීකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු විය.එක් පුද්ගලයෙකුට වාහන කිහිපයක් සඳහා බලපත්‍ර ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදය සරල කිරීම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් විය.ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන, ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය විය.මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.