බලන්න

01

E   |   த   |  

2023-10-16

පුවත් කාණ්ඩ : පුවත් 

විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

  • මහජනතාවට පාර්ලිමේන්තුව සහ රාජ්‍ය නිලධාරීන් සමග සහසම්බන්ධවෙමින් කටයුතු කිරීමේ අවස්ථාව තවදුරටත් වැඩිදියුණු කරනවා - නියෝජ්‍ය කථානායකවරයා පවසයි
  • දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව මහජන නියෝජිතයන් ඇතුළු  මහජනතාව විවෘත පාර්ලිමේන්තු වැඩපිළිවෙල සමග අත්වැල් බැද ගැනීම, ලැබූ විශාල ජයග්‍රහණයක් -  විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති මයන්ත දිසානායක මහතා පවසයි

 

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවක් අග්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් 2023.10.12 දින පැවැත්විණි.
 
විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදය, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) සමග එක්ව සංවිධානය කළ  මෙම වැඩමුළුව සදහා අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු  ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව සහ රාජ්‍ය නිලධාරීන් සමග මෙරට ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධවීමේ අවස්ථාව මහජනතාවට ඉදිරියේදී තවදුරටත් පුළුල් වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා මෙහිදී  පැවසීය. ආංශික අධීක්ෂණ කාරක සභා හරහා දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් සමග විවිධ දේශපාලන අදහස් දරන තරුණ ‍කොටස් ඇතුළු මහජනතාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් පනත් සම්පාදනය ඇතුළු කටයුතු සිදු වුවද ඒවා  මාධ්‍ය හරහා ජනගත නොවීම නිසා දේශපාලඥයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බවද ඒ මහතා ‍පෙන්වා දුන්නේය.

දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව මහජන නියෝජිතයන් ඇතුළ  මහජනතාව   විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදය සමග සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සතුටට කාරණයක් බව ද ලැබූ විශාල ජයග්‍රහණයක් බවද මෙහිදී එම කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක මහතා ‍පැවසීය. සිවිල් සංවිධාන 13 ක් ඇතුළු පාර්ශ්වයන්ගේ සහයෝගීත්වයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට මෙන්ම විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය සමග ජනතාව අත්වැල් බැදගනිමින් සිටින බවත් සභාපතිවරයා පැවසීය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සභාපතිවරයා අවධාරණය කළේය.

මෙම සංසදයේ හිටපු සභාපති සහ හිටපු නියෝජ්‍ය කථානායක ගරු ආනන්ද කුමාරසිරි මහතා අදහස් දක්වමින් මෙහිදී පෙන්වා දුන්නේ මැතිවරණයකින් පසු පාර්ලිමේන්තුවේ 225 දෙනාට පාලනය බාරදී බලා නොසිට පාර්ලිමේන්තුව හා සහසම්බන්ධවෙමින් කටයුතු කිරීම අවශ්‍ය බවයි. ඉන්දියාව වැනි රටක් ‍ඒ සදහා හොද උදාහණයක් බවත් ඒ මහතා පැවසීය. එසේම 8 වැනි පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ මෙම සංසදයේ කටයුතු මේ වන විට වඩාත් පුළුල් කරමින්  සිදු කරන මෙහෙවර පිළිබදව ගරු මයන්ත දිසානායක මහතා ඇතුළු සාමාජිකයන්ට ස්තූතිවන්ත වන බවද හිටපු නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා පවසා සිටියේ ප්‍රජාතන්තවාදය ශක්තිමත් කරමින් ගන්නා මෙවැනි ක්‍රියාවලින්ට සහය දෙමින් එම අභියෝග ජය ගැනීමේ විශාල වගකීමක් රාජ්‍ය නිලධාරීන් සතුවන බවයි.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පෙන්වා දුන්නේ මහජනතාව ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු සංකල්පය වඩාත් ශක්තිමත් කිරීම සදහා වත්මන් ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ඉතා වැදගත් පියවරයක් බවයි. එම කාරක සභා 17න් 8ක සභාපතිවරුන් විපක්ෂය ද 9ක් ආණ්ඩු පක්ෂය ද නියෝජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරයක් බව ද පෙන්වා දුන්නේය. එසේම මෙම කාරක සභාවට තරුණයන් ඇතුළු මහජනතාවට සහභාගී වීමට අවස්ථාව හිමිව ඇති බව ද පෙන්වා දුන්නේය. ස්ථාවර නියෝග අනුව ඕනෑම පනත් කෙටුම්පතක් දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ගෙන නිර්දේශය ලබා ගැනීම අවශ්‍ය බැවින් වඩාත් විවෘතව ව්‍යවස්ථායක කටයුතු සිදු කිරීමේ අවකාශය ඇති බව ද වැඩබලන මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

එසේම ‍අදාළ අමාත්‍යවරයා කාරක සභාවේ සාමාජිකයෙකු නොවන නිසා අදාළ පනත් කෙටුම්පතේ අවශ්‍යතාව සහ ප්‍රතිපත්තිමය කරුණු කාරක සභාවට ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ වගකීම රාජ්‍ය නිලධාරීන්ට හිමි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. කමිටු ප්‍රමාණය වැඩි වීම නිසා රාජ්‍ය නිලධාරීන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පවතී නම් ඉදිරියේදී එම තත්ත්වය විසදීම ද මැදිහත් වන බව ද ඒ මහතා පැවසීය.

එසේම මෙහිදී පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා විසින් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තුළ මහජන ප්‍රවේශය වැඩි කිරීම පිළිබදව අදහස් දක්වන ලදී.

අනතුරුව විවෘත පාර්ලිමේන්තු සංකල්පය තුළ පවතින අභියෝග ජයගැනීම පිළිබද දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරය සතු වගකීම් සහ අභියෝග පිළිබදව විවෘත සංවාදයක්ද මෙහිදී පැවැත්විණි.

විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ ලේකම් ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත එසේම සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඩිලාන් පෙරේරා, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු සුජිත් සංජය පෙරේරා සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 2

3 4

5 6



සම්බන්ධිත පුවත්

2026-11-16

කොරියානු පාර්ලිමේන්තු දූත පිරිසක් නියෝජ්‍ය කථානායකවරයා හමුවෙති - දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා

කොරියානු ජනරජයේ ජාතික සභාව නියෝජනය කරමින්, ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ (CPE) දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවූහ.පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ජනගහන ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ ආර්ථික හුවමාරු යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.කොරියානු දූත පිරිස කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සභාපති සහ ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ උප සභාපති ගරු ලී යැං-සු (Lee Yang-soo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණියහ. එම දූත පිරිසට එම ලීගයේ සාමාජික ගරු ක්වාක් සෑං-ඊඔන් (Kwak Sang-eon) මහතා, කොරියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ගරු කිම් සෝ-හී (Kim So-hee) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ගරු යූන්-ජුං කිම් (Youn-Jung Kim) මහත්මිය ද ඇතුළත් වූහ. 1989 වසරේදී පිහිටුවන ලද ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගය, දේශගුණික විපර්යාස, ජනගහනය සහ ළමා සුබසාධනය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරීම සැලකිල්ලට ගනිමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධානය යොමු කළේය. විශේෂයෙන්ම, දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සහ කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවූ සැලකිය යුතු හානි පිළිබඳව ඔහු සඳහන් කළේය.එමෙන්ම, උපත් අනුපාතය පහළ යාම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ජනගහන අභියෝග පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළේය. මෙම තත්ත්වයන් අනාගතයේදී යැපෙන්නන්ගේ අනුපාතයට සහ ශ්‍රම බලකාය සපයා ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ එය ශක්තිමත් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.කොරියානු ජනරජය තුළ පහළ යන උපත් අනුපාතයට මුහුණදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින්, කොරියානු නියෝජිතයෝ අලුත විවාහ වූ යුවළ සඳහා දැරිය හැකි කුලී නිවාස යෝජනා ක්‍රම, අඩු පොලී ණය සහ නිවාස දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් පැහැදිලි කළහ.විශ්‍රාම වැටුප් ආවරණයේ පවතින හිඩැස් අවම කිරීම සඳහා විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනා පිළිබඳව ද දූත පිරිස අදහස් පළ කළහ. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තරුණ පරපුරට ප්‍රමාණවත් රැකියා අවස්ථා සහතික කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.ආර්ථික සංවර්ධනය සමඟ පරිසර ආරක්ෂාවට ද ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. ස්වාභාවික ආපදා හේතුවෙන් වසර ගණනාවක් පුරා අත්කරගත් ආර්ථික ප්‍රගතියට හානි සිදුවිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.ශ්‍රී ලංකාව තුළ කොරියානු සංස්කෘතිය, විශේෂයෙන්ම කොරියානු පොප් සංගීතය ජනප්‍රිය වීම සහ දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගත හැකි තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථාවල ප්‍රතිලාභ පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ. එම පුහුණු අවස්ථා මඟින් වෘත්තීය කුසලතා වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට ද ආර්ථික ප්‍රතිලාභ හිමිවන බව මෙහිදී සඳහන් විය.ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත පරිසරය හා සංවර්ධනය පිළිබඳ ආසියා – පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවට (APPCED) සහභාගී වන ලෙස කොරියානු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආරාධනා කළහ. එම සමුළුවේදී කොරියාව රටවල් කිහිපයක් වෙනුවෙන් සභාපතිත්වය දරනු ඇත.එසේම, ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සඳහා කොරියානු ව්‍යාපාරික ආයතනවල සහභාගීත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.


2026-11-16

උතුරේ හා නැගෙනහිර අත්අඩංගුවට ගත් හා භාර වූ පුද්ගලයන් 12,196 ක් පුනරුත්ථාපනය කර සමාජගත කරයි

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටුම් පැවති සමයේ සහ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් හෝ භාර වූ පුද්ගලයන් 12,196 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන, යෝගා සහ ආධ්‍යාත්මික වැඩසටහන්, මූලික අධ්‍යාපන හා භාෂා පුහුණු වැඩසටහන් මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමේ වැඩසටහන් මෙන්ම චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව ඇතුළත් සෞන්දර්ය වැඩසටහන්, රියදුරු පුහුණුව සහ ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇති බවත්, එම පුහුණුවට අදාළ උපකරණ සහ වෙනත් ආධාර ද ලබා දී  තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.එමෙන්ම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ණය මුදල්, නිවාස, මහන මැෂින්, ධීවර දැල්, පාපැදි, ජල පොම්ප, වඩු උපකරණ, සැකසුම් උපකරණ, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් සහ ත්‍රීරෝද රථ ඇතුළු ආධාර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සභාගත කළ වාර්තාවේ සඳහන් වේ.


2026-11-16

ස්වේච්ඡා ගුරුවරුන් 4,700 ක් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

දිවයිනේ විවිධ පළාත්වල පිහිටි පාසල්වල මේ වන විට ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරන ගුරුවරුන් 4,700 දෙනෙකු ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 06/2282/229/085-II අනුව මෙම බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ගුරු සහායකයින් ලෙස බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වලට පත් කිරීමට අනුමැතිය ලැබී ඇති ස්වේච්ඡා ගුරුවරුන් 4,700 දෙනාගෙන් 462 දෙනෙකු උතුරු  සහ නැගෙනහිර පළාත් වලට පත් කිරීමට අනුමැතිය ලබා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. නැවත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-14

වන අලි හා දුම්රිය ගැටුම් අවම කිරීම සඳහා තිරසර විසඳුම් හඳුන්වා දීම

දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාම වැළැක්වීම සඳහා තිරසර විසඳුමක් ලබා දීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රිය සේවකයන් දැනුවත් කිරීම, වන අලි වාසස්ථාන කළමනාකරණය කිරීම සහ නවීන නිරීක්ෂණ හා හඳුනාගැනීමේ තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් දුම්රියේ ගැටී වන අලි මිය යාම අවම කිරීම අරමුණු කර ඇත.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. පාර්ලිමේන්තුවේ දී  සභාගත කරන ලද පිළිතුරට අනුව ,දුම්රිය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දෙපස හොඳින් දර්ශනය වන හා වඩා හොඳින් වේගය පාලනය කළ හැකි දියුණු දුම්රිය කට්ටල හඳුන්වා දීම මෙන්ම ගල්ඔය හන්දියේ සිට හිඟුරක්ගොඩ හා ගල්ඔය හන්දියේ සිට කන්තලේ දෙසට සම්පූර්ණයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය කි.මී. 27 ක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානවල ගල්අතුරා වන අලින්ට පහසුවෙන් ගමන් කිරීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගයේ සිල්පර අතර හිස්තැන් පිරීයන පරිදි කොන්ක්‍රීට් ගල් කියුබ් 800 ක් අතුරා අවසන් කොට ඇත.දුම්රිය මාර්ගයේ සමහර ස්ථානවල හා වංගු සහිත ස්ථානවල ගැවසෙන වන අලින් දුම්රිය රියදුරන්ට නොපෙනෙන බැවින් එම ස්ථානවල මීටර් 10 සිට 20 දක්වා යටි පඳුරු ඉවත් කිරීමට කටයුතු කරන අතර මේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කි.මී. 20 ක් සුද්ද පවිත්‍ර කොට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය මාර්ග භාරව කටයුතු කරන ඉංජිනේරුවරුන් හා දුම්රියේ රියදුරු සහායක නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 2025.05.16 හා 17 යන දිනයන්හි සිදු කෙරිණි.හබරණ දුම්රිය ස්ථානය පසුකර කන්තලේ දෙසට ගමන් කිරීමේදී හමුවන වනසංරක්ෂණ රක්ෂිතය තුළ දුම්රිය මාර්ගයෙන් සැලකිය යුතු දුරින් ඔබ්බට ජලය සපයා ගැනීමට හැකියාවක් ඇති වැව් දෙකක් ඉදි කිරීම හා සුපෝෂණ කටයුතු සඳහා රු. මිලියන 25.4 ක ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. ගල්ඔය හා මින්නේරිය අතර 141 ස්ථානයේ කාසිකොටේ දුම්රිය මාර්ගය හරහා අලි ගමන් කරන ස්ථානය නිරීක්ෂණය සඳහා CCTV Camera සවි කර ඇති අතර එය, අනුරාධපුර මෙහෙයුම් මැදිරිය මඟින් නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර වන අලි හඳුනා ගැනීම සඳහා Thermal Detector Camera දුම්රිය මත සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරෙයි. දුම්රියේ ගැටීමෙන් 2020 වර්ෂයේ සිට 2026.10.12 දක්වා කාලය තුළ අලි ඇතුන් 81 දෙනෙකු මියගොස් ඇති බව සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks