පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-10-06
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2030 ජාතික ඩිජිටල් උපායමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (ඔක්. 03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුවත් කිරීම සිදුකරන ලදී. 2030 - ජාතික ඩිජිටල් උපායමාර්ගය සකස් කිරීම සඳහා පත් කරන ලද තේමාත්මක ක්‍රියාකාරී කණ්ඩායම (Thematic Working Group - TWG) විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදුකරන ලදී.
ඒ අනුව, "ඇතුළත් කිරීම්, නවෝත්පාදනය සහ තිරසාර වර්ධනය" යන දැක්ම යටතේ 2030 ජාතික ඩිජිටල් උපායමාර්ගයේ කෙටුම්පත සකස්කරමින් පවතින බව තේමාත්මක ක්‍රියාකාරී කණ්ඩායම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ලෝක බැංකු නියෝජිත සිද්ධාර්ථ රාජා මහතා සඳහන් කළේය. මෙහිදී, යටිතල පහසුකම් සම්බන්ධතාවය, සම්බන්ධිත ඩිජිටල් රජය, ඩිජිටල් මූල්‍ය සේවා, සයිබර් ආරක්ෂාව, කුසලතා සහ කර්මාන්ත සහ අන්තර් ක්ෂේත්‍ර ඩිජිටල්කරණය යන එක් එක් තේමාවන් සඳහා ප්‍රධාන උපාය මාර්ග ඇතුළත් වන බව ද ඔහු පැවසීය.
ඒ අනුව, ජාතික ඩිජිටල් උපායමාර්ගය නොවැම්බර් මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ලෝක බැංකු නියෝජිත සිද්ධාර්ථ රාජා මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම, මෙරට ජනතාවගේ සහ අනෙකුත් දත්ත දැනටමත් විවිධ රාජ්‍ය ආයතනවල පවතින බවත් ඒවා එක් දත්ත ගබඩාවක් යටතේ නොමැති වීම ගැටලුවක් බව කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්හ. දැනට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය මග හරවා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතා පැවසීය.
එයට අමතරව, ශ්‍රී ලංකාවේ PayPal ක්‍රමය හඳුන්වාදීම සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව කාරක සභාව මෙහිදී මහ බැංකු නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් සඳහන් කළේ, PayPal ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස මහ බැංකුව විසින් අදාළ සමාගමෙන් ඉල්ලා ඇති නමුත් සමාගම ගත් තීරණය හේතුවෙන් PayPal ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම ප්‍රමාද වන බවයි.
එමෙන්ම රාජ්‍ය ආයතනවල පවතින තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්විය. පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ වැටුප් හා සසඳන විට රාජ්‍ය ආයතනවලින් ගෙවන වැටුප් ඉතා අඩු බැවින් රජයේ ආයතනවල තනතුරුවලට සුදුසුකම් ලත් පුද්ගලයන් නොපැමිණෙන බව නිලධාරීහු පෙන්වා දුන්නේය.
කළමනාකරණ සේවා වැටුප් විධිවිධාන අනුව මෙම වැටුප් පරිමාණය වැඩි කළ නොහැකි බවත්, ඒ අනුව ජනාධිපතිවරයා හෝ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පමණක් සුදුසුකම් ලත් පුද්ගලයන් බඳවාගෙන අදාළ ආයතනවලට පත් කිරීමට යෝජනා කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතා පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජිකයින් වන ගරු මයන්ත දිසානායක, ගරු (නීතිඥ) ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මන්ත්‍රීවරයන් සහ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, අමාත්‍ය ගරු කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු (ආචාර්ය) සුරේන් රාඝවන්, ගරු විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඩී. වීරසිංහ, ගරු තේනුක විදානගමගේ, ගරු අසංක නවරත්න, ගරු කුමාරසිරි රත්නායක, ගරු උදයන කිරිඳිගොඩ, ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ගරු වීරසුමන වීරසිංහ, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු යදාමිණී ගුණවර්ධන, ගරු (මහාචාර්ය) චරිත හේරත්, ගරු ගාමිණී වලේබොඩ, ගරු (නීතිඥ) මධුර විතානගේ, ගරු සංජීව එදිරිමාන්න, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු සමන්ප්‍රිය හේරත්, ගරු රාජිකා වික්‍රමසිංහ සහ ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-05-29
වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් - අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් පවත්වන ලදි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් එම සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස 25 සහ 27 දිනයන්වලදී රැස්වූ අවස්ථාවේදීය. ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය මෙන්ම ඔවුන්ට සේවා සහ පහසුකම් සැලසීම සඳහා පවතින බාධක හඳුනාගනිමින්, ඊට තිරසර විසඳුම් ලබාදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය බහුවිධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දිගුවක් ලෙස 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ පූර්ණ හා ඵලදායි සමාජ සහභාගීත්වය වඩාත් සංවිධිත ආකාරයට තහවුරු කිරීමත්, අපේක්ෂා කෙරේ.ඒ අනුව, දැනට ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, නව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින් සහ ආබාධ සහිත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝජනා ලබාගැනීම සිදු විය. මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා එහි සාමාජික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ.
2026-05-29
වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා පාර්ලිමේන්තුයව්දී සිදු කෙරිණි. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය. විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ක් 500ක් පමණ වැඩ තහනමට ලක්ව සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවමත් වැටුප් ලබා ගනිමින් සිටින බවත් පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ. විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග නිසා මෙලෙස වැටුප් ගෙවීම සිදු වන බවත් එසේ වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස්රථ වල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම් උපයන බවත් නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ගරු අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.එසේම ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා වන අනු කාරක සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව, කාර්යක්ෂම සහ සතුටුදායක සේවා උත්පාදනය කරන ස්ථානයක් බවට පත් කිරීම සඳහා වන අනු කාරක සභාවේ අවසන් වාර්තාව සහ අතුරු වාර්තාව පිළිවෙළින් ඉදිරිපත් කිරීම සිදු විය.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග ගුණසේකර, (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-05-29
දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ දිවියන්ට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.එම සංසදයේ සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.මෙහිදී එල්-නිනො සහ ලා-නිනෝ දේශගුණික තත්ත්වයන්, අලි ඇතුන් සහ දිවියන්ගේ ජීවන රටාවට ඇති කරන බලපෑම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළහ.දේශගුණික විපර්යාස නිසා වනජීවීන්ට සිදුවන බලපෑම් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවත්, එහි පළමු පියවර ලෙස අලි ඇතුන් සහ දිවියන් සම්බන්ධ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. තවද, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ පාර්ශ්වයන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.මෙම සාකච්ඡාව සඳහා දේශගුණික විශේෂඥයින් සහ පරිසරවේදීන් ද සහභාගී වී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. මිනිස් – අලි ගැටුම් අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂාවට අදාළ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චම්පික හෙට්ටිආරච්චි, රියාස් ෆාරුක් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-05-29
2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු ගරු අමාත්‍ය (නීතීඥ) හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේ මෙලෙස අනුමැතිය හිමිවිය. 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2026.05.19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගත් මෙම ගිවිසුම මගින් සාපරාධී කාරණාවලදී දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීමට මඟ පාදයි. ඒ අනුව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි මෙම නියමය මගින්, ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා භාවිත කිරීමට අදහස් කරන ලද අරමුදල්, අපරාධයකින් උත්පාදිත දේ සහ අපරාධ මෙවලම් සොයා ගැනීම, තහනම් කිරීම, අහිමි කිරීම හෝ රාජසන්තක කිරීම ඇතුළු අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ මැඩ පැවැත්වීම සම්බන්ධ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම මගින් ගිවිසුමේ දෙපාර්ශවයේම භූමිකාව වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ. අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර 2018 වසරෙන් පසු බඳවා ගැනීම් සිදු නොකිරීම නිසා මේ දක්වා පුරප්පාඩු 2647 ක් ඇති බව නිලධාරීහු පැවසූහ. ඒ අනුව බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව, ගරු මන්ත්‍රීවරු අධිකරණ, බන්ධනාගාර හා නීති ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවාට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. ගරු නියෝජ්‍ය අමාත්‍ය (නීතීඥ) සුනිල් වටගල මහතා ඇතුළු ගරු මන්ත්‍රීවරු පිරිසක් ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

