පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-09-19
ජනමාධ්‍ය වාර්තාකරණයේදී අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවලින් නිවැරදි තොරතුරු කඩිනමින් ලබා ගැනීමට නොහැකිවීම වාර්තාකරණය සදහා ප්‍රධාන බාධාවක් බව ජනමාධ්‍ය ආයතන ප්‍රධානීහු 2023.09.15 දින පාර්ලිමේන්තුවේදී පැවති විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු දැක්වූහ. විශේෂයෙන් ඇතැම් මාධ්‍ය ලේකම්වරුන් එම සම්බන්ධීකරණය නිසියාකාරව සිදු නොකිරීම නිසා රජයේ යහපත් සංවර්ධන වැඩසටහන් පවා ජනතාව අතරට ගෙනයාමට නොහැකි වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසත් ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී ජයසුන්දර මහතාට කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව 2023.09.15 දින රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය. විවෘත සහ වගකිවයුතු රජයක් තුළ වඩාත් යහපත් අනාගතයක් ගොඩ නැංවීම සදහා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට මෙම කාරක සභාව රැස්වූ අතර විද්‍යුත් හා මුද්‍රිත් මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදය යහපත් ලෙස ක්‍රියාත්මක වීම සදහා ජනමාධ්‍ය සිදුකරන කාර්ය භාරය අගය කළ කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ සමාජ පෙරගමන්කරුවෙක් වන ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට පවතින ගැටලු හා බාධා විසදා ඉදිරියට යාම සදහා මෙම කාරක සභාවෙන් අවශ්‍ය නිර්දේශ සහ උපරිම සහය ලබා දෙන බවයි.
වෘත්තීය ජනමාධ්‍යවේදීන් බිහි කිරීම සදහා පුහුණු ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මේ සම්බන්ධව දැනට පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බව ලේකම්වරයා පැවසීය. එම කටයුතු ප්‍රමාද නොකර කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස කමිටුව විසින් උපෙදස් ලබා දෙන ලදී. එසේම ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා කමිටුවක් ක්‍රියාත්මක බවත් ඒ සදහා අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ආරාධනා කරන බවත් ලේකම්වරයා පැවසීය.
එසේම මුද්‍රිත මාධ්‍ය මුහුණපා ඇති ගැටලුකාරී තත්ත්වය තුළ තින්ත, කඩදාසි ඇතුළු ද්‍රව්‍ය සදහා යම් සහනයක් රජය මගින් ලබා දීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.
රාජ්‍ය විද්‍යුත් හා මුද්‍රිත ආයතන මේ වන විට භාණ්ඩාගාරයේ යැපීමෙන් තොරව ස්වයං ආදායම් උත්පාදනය සිදු කරන බැවින් ආවරණ කටයුතු නොමිලේ සිදු කර ගැනීමට ඇති අපහසුතාව පිළිබදවද රාජ්‍ය ජනමාධ්‍ය ආයතන ප්‍රධානීහු මෙහිදී කරුණු පෙන්වා දුන්හ. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නොමිලේ ප්‍රචාරය ලබා ගත හැකි බවට වැරදි මතයක් නිර්මාණය වී ඇති බවත් තවදුරටත් එසේ සිදු කොට මෙම ආයතන පවත්වාගෙන යා නොහැකි බැවින් මේ සදහා මැදිහත් වීමේ අවශ්‍යතාව ද ඔවුහු පෙන්වා දුන්හ. මේ අනුව මේ සදහා නිර්දේශයන් ලබා දීමට කාරක සභාව මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා පැවසීය.
අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ අපරාධ වාර්තාකරණයේදී එය මාධ්‍ය ආචාරධර්ම මත සිදු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
තවද මාධ්‍ය නාලිකා ශ්‍රේණිගත කිරීම සදහා විනිවිද බවකින් යුතු ස්වාධීන ආයතනයක් පිහිටුවීම, ජනමාධ්‍යවේදීන්ගේ ආර්ථික හා සමාජීය සුරක්ෂිත බව තහවුරු කිරීම සදහා අරමුදලක් පිහිටුවීම, බාධාවකින් තොරව ජනමාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයේ අයිතිය තහවුරු කිරීම, වැරදි තොරතුරුවලට අදාළ සමාජ මාධ්‍ය නියාමනය, මාධ්‍ය බලපත්‍ර ලබාදීමේදී පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව යන කරුණු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.
ඒ අනුව මෙම සාකච්ඡාවට අදාළ නිර්දේශ පාර්ලිමේන්තුව හරහා රජයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ද මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියේය.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
2026-09-15
අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14 දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය. එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2026-09-14
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද මෙහිදී ප්‍රකාශ විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



