පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-09-15
සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබදව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය පසුගියදා යොමුවිය.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජෝන් සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධව සාකච්ඡා වූ අතර මෙම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ අනුමතිය ලබාදීම ද සිදුවිය.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ 205 වගන්තිය අනුව නඩු කටයුතුවල තීන්දු ප්‍රකාශයේ හා නඩු තීන්දුවේ සහතික පිටපත් නිකුත් කිරීමට අදාළව මෙම සංශෝධන ඉදිරිපත් කර තිබිණි. මේ අනුව නඩුවකට අදාළ පාර්ශ්වයන්ට තීන්දු ප්‍රකාශයේ හෝ නඩු තීන්දුවේ එක් සහතික පිටපතක් නොමිලයේ නිකුත් කිරීමට මෙමගින් විධිවිධාන සපයා ඇත. තවද ගාස්තු ගෙවීමකට යටත්ව අදාළ පිටපත් ලබා ගැනීමට හැකියාව ලබා දීම ඇතුළු සංශෝධන මීට අයත්වේ.
මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මගින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගින් මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21 ක් ඇතුළත මැතිවරණ පෙත්සමක් ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය දින 21 සිට දින 42 දක්වා සංශෝධනය කිරීම සිදුවේ. වත්මන් නීතියට අනුව මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21 ක් ඇතුළත දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් මැතිවරණ වියදම් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවුනහොත් මැතිවරණ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව ලබා දී ඇත. මේ අනුව එම කාලය දින 42 දක්වා සංශෝධනය කිරීම සිදුවේ.
තවද මෙම පනත් කෙටුම්පත මගින් දැනට පවතින මැතිවරණ පනත් අනුව නියම කරනු ලබන දණ්ඩන ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් මූල්‍ය තත්ත්වයට ගැළපෙන පරිදි දඩමුදල් යාවත්කාලීන කිරීම ද සිදුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-11-12
විදුලි වාහන සහ ඒවායේ බැටරි තාක්ෂණය සඳහා අවශ්‍ය නියාමන හා ප්‍රමිති හඳුන්වාදීම, රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම සහ නවෝත්පාදන වාණිජකරණය කිරීම ඇතුළු කරුණු පිළිබඳව විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වියගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වු කාරක සභාවේදී 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2023 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව සහ 2025 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සලකා බැලිණි..මෙහිදී ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) සතු විදුලි වාහන සහ බැටරි පරීක්ෂණ පහසුකම් පිළිබඳව සාකච්ඡා වූ අතර, බැටරිවල ධාරිතාව, කල්පැවැත්ම සහ ආයු කාලය ඇතුළු පරාමිතීන් ගණනාවක් පරීක්ෂා කිරීමේ හැකියාව එම ආයතනය සතු බව අනාවරණය විය. එහෙත් මෙරටට ආනයනය කරන විදුලි වාහන, බැටරි, පාලක (Controllers) සහ ආරෝපණ මධ්‍යස්ථාන සඳහා අනිවාර්ය නියාමන හා ප්‍රමිති නොමැතිවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. ඒ අනුව අදාළ ප්‍රමිති සකස් කර ඒවා පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළහ.සාම්ප්‍රදායික වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය, පුහුණු වැඩසටහන් සහ එම වාහනවල ආරක්ෂාවට අදාළ ප්‍රමිති හා නියාමන ක්‍රමවේද සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.පර්යේෂණ හා සංවර්ධන ආයතනවල පැවති මානව සම්පත් හිඟය සහ සුදුසුකම් ලත් ඉංජිනේරුවන් හා පර්යේෂකයන් රඳවා ගැනීම සඳහා සුදුසු වැටුප් හා දීමනා ක්රමවේදයක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම, පවතින අඩුපාඩු අවම කිරීම, පර්යේෂණ ප්‍රතිඵල ඵලදායීව කළමනාකරණය කිරීම සහ සමාන කාර්යයන් සිදු කරන ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද නිලධාරීහු කාරක සභාවේ අවධානයට යොමු කළහ.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වන අලි තර්ජනය අවම කිරීමේ විදුලි වැට ව්‍යාපෘති, විශ්වවිද්‍යාල ආශ්රිත ඉන්කියුබේෂන් මධ්‍යස්ථාන සහ ඩිජිටල් වේදිකා ඔස්සේ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා විය. ක්‍රියාත්මක කළ විදුලි වැට ව්‍යාපෘති හතරෙන් තුනක් සාර්ථකව පවතින බව ද නිලධාරීන් විසින් කාරක සභාවට දන්වන ලදී තවද, නව නිපැයුම්කරුවන්ගේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ නව නිපැයුම් වාණිජකරණය කඩිනම් කිරීම සඳහා 'පෙටි පේටන්ට්' (Petty Patents) ක්‍රමවේදය හඳුන්වාදීම වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ජා කෙරිණි මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ, චතුර ගලප්පත්ති, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2026-11-11
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, උද්ධමන ඉලක්කකරණය, පෞද්ගලික අංශයේ ණය වර්ධනය, ආර්ථික වර්ධන විභවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා පාර්ලිමේන්තුවේ දී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්ෂ සහ තිළිණ සමරකෝන් යන මහත්වරුන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2)(අ) වගන්තියේ විධිවිධාන අනුව, මහ බැංකුවේ කාර්යභාරයන් පිළිබඳව කරුණු දැක්වීම සඳහා මහ බැංකු අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් සහ නියෝජ්‍ය අධිපතිවරුන් සෑම මාස හතරකට වරක් පාර්ලිමේන්තුව හෝ එහි කමිටුවක් හමුවේ හෝ පෙනී සිටිය යුතුය. එමෙන්ම, 26(5) වගන්තිය ප්‍රකාරව, අඛන්ඩව කාර්තු දෙකක් නියමිත උද්ධමන ඉලක්ක සපුරාලීමට මහ බැංකුව අපොහොසත් වුවහොත්, ඒ පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.මෙහිදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කර ගත් ප්‍රධාන උද්ධමන ඉලක්කය 5% ක් ලෙස පවත්වාගෙන යාම සහ එම ඉලක්කය ඉදිරි වසර තුන සඳහා ද පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය පිළිබඳව මහ බැංකු නිලධාරීහු පැහැදිලි කළහ. උද්ධමනය ඉලක්කගත පරාසයේ පහළ සීමාව වන 3% ට වඩා පහළ මට්ටමක පැවති අවස්ථා හේතුවෙන් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තා හතක් ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.2026 වසරේ මුල් මාස නවය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1 ක් වන අතර, එය 2025 වසරේ අනුරූප කාලසීමාවේ පැවති රුපියල් ට්‍රිලියන 1.9 ක ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බව ද ප්‍රකාශ විය. ඉන් 74% ක් පමණ බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් ලබා දී තිබේ.කෙසේ වෙතත්, කෙටි කාලීන ණය අනුපාතය 42% සිට 47% දක්වා ඉහළ යාමත්, දිගුකාලීන ණය අනුපාතය 35% සිට 29% දක්වා පහළ යාමත් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. බැංකු ණය ප්‍රාග්ධන සම්පාදනය, නව ආයෝජන සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ලෙස යොදාගන්නේද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. තවද, උකස් ණය සහ වාහන ණය ඇතුළු ණය වර්ගවල වර්ධනය පිළිබඳව ද කරුණු විමසා බැලිණි.ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන විභවය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර, තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තියට අමතරව වෙළඳ, කම්කරු හා ඉඩම් ක්ෂේත්රවල ප්‍රතිසංස්කරණ, මානව ප්‍රාග්ධන සංවර්ධනය, ඵලදායිතාව ඉහළ නැංවීම සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින්, බැංකු අංශයේ තුන්වන අදියරේ අක්‍රීය ණය අනුපාතය 9.7% සිට 8.8% දක්වා පහළ ගොස් ඇති බවත්, බැංකු පද්ධතියේ ප්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ටම් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බවත් පැහැදිලි කෙරිණි.NDB බැංකුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්රමිතීන් අධීක්ෂණ මණ්ඩලයේ වාර්තාව 2026 ඔක්තෝබර් 15 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අදාළ බැංකුව සම්බන්ධයෙන් ලාභාංශ බෙදා හැරීම, ශාඛා ව්‍යාප්තිය සහ අධ්යක්ෂ මණ්ඩල දීමනා සීමා කිරීම ඇතුළු නියාමන ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීහු පැවසුහ.නීති විරෝධී ලෙස මහජන තැන්පතු ලබා ගන්නා ආයතන සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් මහ බැංකු අධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රූප හා හඬ ව්‍යාජ ලෙස යොදාගනිමින් සිදු කරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. එවැනි වංචා වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT), පොලිසිය සහ Meta සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ද මහ බැංකු නිලධාරීහු පෙන්වා දුන්හ.මීට අමතරව, අතථ්‍ය වත්කම් සහ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ නියාමන කටයුතු, කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක බැංකු අධීක්ෂණය සහ රාජ්‍ය බැංකු ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී කරුණු සාකච්ඡා විය.
2026-11-10
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස්විය. මෙහිදී ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ තාක්ෂණික හා පර්යේෂණමය ධාරිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී නොවැම්බර් 20 වැනිදා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත “විශේෂ ළමා පාර්ලිමේන්තු සහභාගීත්ව වැඩසටහන” පිළිබඳව අවධානය යොමු විය. දිවයින පුරා දරුවන් 1,200 කට අධික පිරිසකගේ අදහස් ලබා ගෙන සකස් කළ ළමා ප්රකාශනය (Children’s Statement) දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ළමා අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ළමා සංසදයක් නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, ළමා අපයෝජන සම්බන්ධ නඩු කඩිනම් කිරීම, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ගෝලීය ක්‍රියාකාරී වැඩසටහන පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉහත වැඩසටහන යටතේ “This is my right” යන තේමාවෙන් දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කර ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට අමතරව මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී පැමිණි නියෝජිතයෝ පැවසූහ. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සහාය ලබා ගත හැකි ආයතන හා සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් QR කේතයක් සහිත ඩිජිටල් සේවා නාමාවලියක් හඳුන්වාදීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංවාදයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මේ අතර, මැක්ස් ප්ලෑන්ක් පදනමේ (Max Planck Foundation) නියෝජිතයන් සමඟ පැවති තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ පසු විපරම් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු පර්යේෂණ සහාය සහ දැනුම හුවමාරුව සම්බන්ධයෙන් අවධානය යොමු විය. නීති කෙටුම්පත් සකස් කිරීම, සංසන්දනාත්මක නීති අධ්‍යයනය සහ පනත් කෙටුම්පත්වල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව හා මානව හිමිකම් කෙරෙහි ඇති බලපෑම ඇගයීම වැනි ක්ෂේත්රවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තාක්ෂණික හා පර්යේෂණමය සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම, ළමා ආරක්ෂාව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මුල්කරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන් ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.
2026-11-10
රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ III වැනි අනු කාරක සභාව හමුවේ පළමු අධියර ලෙස සිය ආයතනික සැලසුම් ඉදිරිපත් කළ ආයතන 41හි සංයුක්ත සහ ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ ප්‍රගති සමාලෝචන වැඩමුළුව පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.රාජ්‍ය ආයතනවල කාර්යභාරය, මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල බලතල හා වගකීම් හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, අතීත විගණන ගැටලු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, ආයතනික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඒවා මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගෙන තිබේද යන්න ඇගයීමට ලක් කිරීම වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.මෙම වැඩමුළුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ උපදේශකවරුන් වන පී. රණසිංහ සහ සී. එස්. මායාදුන්නේ යන මහත්වරුන්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

