පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-08-31
පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
සභාපතිවරයා ඒ අදහස් පලකළේ 2023.08.29 දින පාර්ලිමේන්තුවේදී, 2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, 2004 වර්ෂයේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඇතැම් රාජ්‍ය ආයතනවල 1980 දශකයට අදාළ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් වූ බවයි. එහෙත් මෙම කමිටුවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ආයතන ගණනාවක් විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව ද අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ රජය ගෙනයන වැඩ පිළිවෙල පිළිබඳව ලෝක මුල්‍ය සංවිධාන සතුට පළකර ඇති බවයි. රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන යාන්ත්‍රණය එක්ව කටයුතු කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.
එමෙන්ම රට බංකලොත් යැයි ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඉන් රට මුදවා ගැනීමටල සකස් කර ඇති නීති රීති ක්‍රියාත්මක කිරීමට හා ඒවා සුරැකීමට කැපවිය යුතු බවද අවධාරණය කළේය.
රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ රාජ්‍ය ආයතන හා ආයතන ප්‍රධානීන් තවදුරටත් තම ආයතනවලට වගකියන ආකාරයට නීති ශක්තිමත් විය යුතු බවයි.
2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක ලකුණු ලබාගත් රාජ්‍ය ආයතන අගයමින් සහතිකපත් 113ක් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
බස්නාහිර පළාත තුල රාජ්‍ය ආයතන 45ක් සඳහා ගරු සභාපති තුමන් හා අනෙකුත් සමාජික මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අතින් සහතික පත් ලබා දීම සිදු කෙරුණු අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ අනෙකුත් පළාත් වල රාජ්‍ය ආයතන 60ක් සඳහා සහතික පත් ලබා දීම සිදු විය.
මේ අවස්ථාව සඳහා රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජේ.සී. අලවතුවල යන මහත්වරුන්, විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ලේකම් චින්තා බුලත්සිංහල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
2026-09-15
අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14 දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය. එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2026-09-14
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද මෙහිදී ප්‍රකාශ විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.
2026-09-08
විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks





