01

E   |   த   |  

2023-08-29

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම ඇතුළු ගැටලු සදහා මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන්න - ‘කෝප්’ කමිටුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග

  • උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමටත් උපදෙස්   
  • සෑම ශාස්ත්‍ර පීඨයකම තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යයනාංශයක් පිහිටුවීමට පියවර

 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගරු රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.08.25  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබිණි.

මෙහිදී 2023 අප්‍රේල් 28 දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්  ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි.

 

රැකියා වෙළදපොළට ගැළපෙන පාඨමාලා හඳුන්වාදීම

මීට පෙර ලබා දී ඇති කෝප් නිර්දේශයකයට අනුව රැකියා වෙළදපොළට ගැළපෙන ලෙස විශ්ව විද්‍යාලවල පාඨමාලා ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා විය.

සෑම ශාස්ත්‍ර පීඨයකම තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යයනාංශයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවද ඒ සදහා  ගැසට් පත්‍රයක්ද නිකුත් කර අවසන් බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ සදහා සුදුසුකම්ලත් ආචාර්යවරු පත් කිරීමට ද පියවර ගෙන ඇත. මේ අනුව රු මිලියන 400ක් වැය කර විශ්ව විද්‍යාල 15ක නව පරිගණක විද්‍යාගාර  පිහිටවූ බව ද ඒ මහතා පැවසීය.

 

කලා විෂය වෙනුවට උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට උපදෙස්

නවීන රැකියා වෙළදපොල පිළිබද පරීක්ෂා කිරීමේදී කලා විෂය ධාරාව වෙනුවට විද්‍යා ගණිත අංශ සදහා වැඩි අවස්ථාවක් සිසුන්ට ලබාදීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි. සිසු දරුවන්ට උසස්පෙළට විද්‍යා විෂයන් හැදෑරීමට අවශ්‍යතාව තිබුණද පාසැල් මට්ටමින් ඒ සදහා අවස්ථාව ලබා නොදීම බලවත් ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.

එසේම ජාතික පාසැල් සහ පළාත් සභා පාසැල්වල ගුරුවරු ඇතුළු තොරතුරු පිළිබදව නිවැරදි දත්ත නොමැති වීම ගැටලුවක් බැවින් නිවැරදි දත්ත පද්ධතියක් සකස් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දීම සිදුවිය.

 උසස්පෙළ විද්‍යා ගණිත විෂයන්  හැදෑරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලෙස කෝප් සභාපතිවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ඉදිරියේදී STEM අධ්‍යාපන වැඩසටහන ඔස්සේ පාසැල් කාණ්ඩ කොට මේ සම්බන්ධව පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකරන බව ලේකම්වරයා පැවසීය. මෙහිදී පාසැල් කාණ්ඩගත කොට අවශ්‍ය සම්පත් බෙදාහදා ගැනීමට ද ජාතික පාසැල් සහ පළාත් සභා පාසැල් එකම කණ්ඩායමක් ලෙස පරිපාලන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් හ් මහතා පැවසීය. ඒ අනුව තව සති දෙකක කාලයකින් මෙම කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවත් ලේකම්වරයා වැඩිදුරටත් ‍පැවසීය.

 

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම ඇතුළු ගැටලු සදහා මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන ලෙසට නියෝග

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පාලනය පිළිබද බලය නැවත ගැසට් නිවේදනයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට 2012 වසරේ පවරා ගෙන ඇති බැවින් මේ වන විට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියාමනයක් සිදුනොවන බවට මෙහිදී ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මේ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනයට ඇති බලතල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගතහොත් එය ‍මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේද බිදවැටිීම බව ද ඒ මහතා පැවසීය.

මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම සහ මෙම විශ්ව විද්‍යාවල ලියාපදිංචිය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වයට මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන ලෙස දැනුම් දුන්නේය.  

මීට අමතරව දිස්ත්‍රික් කුසලතාව මත බදවා ගැනීම වැඩි කිරීම,  සප්ත වාර්ෂික නිවාඩු ලබා ගෙන අධ්‍යයන කටයුතු සදහා විදේශ ගතවන අධ්‍යයන කාර්ය මණ්ඩල නැවත සේවයට වාර්තා නොකිරීම මත බැදුම්කර අයකර ගැනීම වැනි කරුණු කාරණා කෙරෙහිද අවධානය යොමු විය.

මෙම කාරක සභා රැස්වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු සංජීව එදිරිමාන්න, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ගරු මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

 

4 6

 



සම්බන්ධිත පුවත්

2026-11-16

අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2026-11-14

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් - යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ අවධානය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-14

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks