E   |     |  

2023-08-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය වසර 10 කට පසු ‘කෝප්’ කමිටුව හමුවට

  • පනත යාවත්කාලීන කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග
  • අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු කඩිනමින් පත් කිරීමට නියෝග
  • නව ගොඩනැගිල්ලක ස්ථානගතවීමට සති දෙකක කාලයක්
  • අමාත්‍යාංශය අතර ඍජු සබඳතා නැති වීමේ අඩුපාඩුව පෙන්වා දෙයි
  • මාස හයකින් නැවත කැඳවීමක්
  • විගණන වාර්තාවෙන් පෙන්වාදුන් අඩුපාඩු නිවැරදි කිරීමට මාස තුනක කාලයක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.08.24  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කැඳවා තිබිණි.

මෙහිදී 2019 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද  යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමුවිය.

 

පනත කඩිනමින් යාවත්කාලීන කිරීම

2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත යටතේ පිහිටුවා ඇති මෙම ආයතනයේ පනත වත්මන් අවශ්‍යතාවට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කමිටුව ඒ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දෙන ලදී.

 

අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ ගැටලුව

2008 වසරේ පත්වීම් ලබා ඇති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2019 වසරේදී වැඩතහනමකට ලක්ව 2020 වසරේ සේවයේ නැවත පිහිටුවා ඇති බව හෙළිවිය. විධිමත් විනය පරීක්ෂණයකින් තොරව වැඩතහනමට ලක්වූ කාලට අදාළව වැටුප් සහ දීමනා ලෙස රු.556108ක මුදලක් ද ගෙවා ඇති බවත් මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදී ඇතිබවත් අනාවරණය විය. මෙම නිලධාරියා සම්බන්ධයෙන් ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. එසේම ආයතනයේ ප්‍රධානම තනතුරක් වන අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා වැඩබලන නිලධාරියෙකු කඩිනමින් පත්කරන ලෙසත් ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් දැනුම් දුන්නේය.

 

නව ගොඩනැගිල්ලක ස්ථානගතවීමට සති දෙකක කාලයක්

සේවකයන් 29 දෙනෙකු පමණක් සිටින ආයතනයකට මහල් 5කින් යුතු ගොඩනැගිල්ලක් රු. ලක්ෂ 12.5ක මුදලට ආ‍යතනයේ ප්‍රධාන කාර්යාලය ලෙස කුලියකට ගැනීම පිළිබදව සාකච්ඡා විය. 2017 වසරේදී කුලියට ලබා ගත් මෙම ගොඩනැගිල්ල සදහා ගෙවීම් සිදුකිරීම නාස්තියක් බව පෙන්වා දෙමින් අවස්ථා ගණනාවකදී කරුණු පෙන්වා දී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. එසේම මෙම ගිවිසුම් බදු කාලය 2023 වසරේ පෙබරවාරි මාසයෙන් අවසන්ව ඇති බවද හෙළි විය. ඒ අනුව සති දෙකක් තුළ මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු පිළිබද වාර්තා කරන  ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

 

පුහුණු පාඨමාලා පැවැත්වීම පෞද්ගලික ආයතන වෙත පවරා තිබීම

මෙම ආයතනය භාෂා පුහුණු පාඨමාලා පැවැත්වී‍ම පෞද්ගලික ආයතනවලට පවරාදීම පිළිබදව අවධානය යොමුවිය. රජයේ නිලධාරින්ට භාෂාවන් සම්බන්ධ ප්‍රවිණතාව ලබා ගැනීම අනිවාර්ය කර ඇති පසුබිමක මෙම ආයතනය පාඨමාලා පැවැත්වීමෙන් ලැබෙන ආදායමෙන් ආයතනයට 15%ක් පමණක් ලැබෙන බව ද හෙළිවිය. මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ හරහා පාඨමාලාවල ගුණාත්මක බව ඇතුළු කරුණු පිළිබදවද ගැටලු මතුවන බවයි. එබැවින් මේ පිළිබදව අමාත්‍යාංශය සමග එක්ව තීරණයක් ගන්නා ලෙසත් ගනු ලබන ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය.

 

අමාත්‍යාංශයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම

විවිධ අමාත්‍යාංශ යටතේ අවස්ථා ගණනාවකදී පැවති මෙම ආයතනයේ පරිපාලනය කෙරෙහි අමාත්‍යාංශයේ මැදිහත්වීම මීට වඩා සිදුවිය යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණ‍ය කළේය. මේ අනුව ආයතනය අමාත්‍යාංශයට පරිබාහිරව කටයුතු කරන්නේ නම් ලැබී ඇති බලතල අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස  අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

මීට අමතරව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව 2019 වසරේදී ගුවන්විදුලි වැඩසටහනක් සදහා රු. මිලියන 15ක්  සහ රූපවාහිනි වැඩසටහනක් වෙනුවෙන් රු. මිලියන 4ක් වැය කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය. මේ පිළිබද ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ වාර්තා කරන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදීම සිදුවිය.

එසේම මෙහිදී අදහස් දක්වමින්  ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපතිවරයා පවසා සිටියේ මේ වන විට ස්වයංව යැපීමට හැකි පරිදි ආයතනය වර්ධනය වූ බවත් රු. මිලියන 162ක මුදල් තැන්පතුවක්ද කිරීමට හැකියාව ලැබූ බවයි.   

මේ අනුව කෝප් කමිටුවෙන් ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය විමසීම සදහා මෙම ආයතනය නැවත මාස හයකින් කැදවීමට ද මෙහිදී තීරණය විය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු නිමල් ලන්සා, ගරු නලීන් බණ්ඩාර ජයමහ, ගරු එස්.එම්. මරික්කාර්, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු (නීතිඥ) මධුර විතානගේ සහ ගරු(මහාචාර්ය) චරිත හේරත් යන මහත්වරු සහභාගී වූහ.

 

1 7

 



සම්බන්ධිත පුවත්

2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.


2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.


2026-09-08

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගන්නවා – විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks