E   |     |  

2023-08-22

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ගුරු සේවයේ සිට සේවාස්ථ උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී වැටුප් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ගුරු සේවයේ සිට සේවාස්ථ උපදේශක සේවයට අන්තර්ග්‍රහණය වීමේදී පොරොන්දු වූ වැටුප සහ ලබා දෙනු ලබන වැටුප් ශ්‍රේණිය අතර පවතින විෂමතාවය සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු  විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (අගෝ. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මේ අනුව මෙම ගැටළු සඳහා විසඳුම් ලැබෙන තුරු  පත්කිරීම් තාවකාලිකව කල් දැමිය යුතු බව කමිටුවේ අදහස වූ අතර සිය සේවා කාලය තුළ උපදේශකයෙකු ලෙස අන්තර්ග්‍රහණය වන  විට  පෙර ලැබුණු වැටුපට වඩා අඩු වැටුපක් ලබා දීම සාධාරණ නොවන බවද කමිටුවේ අදහස විය.

මෙහිදී විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ගුරු  උපදේශක සේවා තනතුරු වල පවතින පුරප්පාඩු 1,982 පිරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ගුරු   උපදේශක තනතුරුවල රාජකාරිය සහ විෂය පථය සම්බන්ධයෙන් ද  පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

ඒ අනුව ගැටලු රැසක් පවතින තත්ත්වය තුළ  ගුරුවරුන්  උපදේශක සේවයට   අන්තර්ග්‍රහණය කර ගැනීමට කටයුතු කරීමට උත්සහ කිරීම අනුමත කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන්  තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් කමිටුවේ අදහස විය.

එසේම පෙර පාසල් ක්‍රියාකාරීත්වය සහ පෙර පාසල් අධ්‍යාපනය වඩා විධිමත් කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණි. මේ සම්බන්ධයෙන් පැමිණ සිටි නිලධාරින් පෙන්වා දුන්නේ මහජන අදහස් ලබාගැනීමේ අරමුණෙන් මාසයකට ආසන්න කාලයක් පෙර  පාසල් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබු බවයි. ඒ අනුව පෙර  පාසල් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් අදාළ ආයතන සහ දෙපාර්තමේන්තුවල සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මේ වන විට කෙටුම්පත් කර ඇති බවද පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

තවද පෙර පාසල් අධ්‍යාපනනය සම්බන්ධයෙන් පළාත් වශයෙන් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බැවින් මේ සම්බන්ධයෙන් පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වැදගත් වන බව කමිටුවේ අදහස විය. එසේම මුල් ළමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර  ඉරිදා දිනවල පැවැත්වෙන පෞද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

තවද පාසැල් විෂය නිර්දේශවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීම සාධාරණීකරණය කරන අන්තර්ගතයන් අඩංගු වන බවට නිරීක්ෂණය වන බැවින් පාසල් විෂය නිර්දේශයේ අන්තර්ගත ඇතැම් පරිච්ඡේද පිළිබඳව සොයා බැලිය යුතු බවද කමිටුවේ අදහස විය. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව මෙම කරුණු පිළිබඳව ද  සලකා බලන ලෙසට කමිටුව නිර්දේශ කරනු ලැබිය.

මීට අමතරව දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව කමිටුව විමසා සිටි අතර මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ සිසුන් ලක්ෂ 18කට එනම් පාසැල් 7,926ක් ආවරණය වන පරිදි දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රෝහිණී කුමාරි විජේරත්න, ගරු මංජුලා දිසානායක, (මහාචාර්ය) ගරු චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම කරක සභාවට සහභාගී වූහ. එසේම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ද කමිටුවේ සභාපතිවරයාගේ අවසරය මත මෙම රැස්වීමට සහභාගී වූහ.

 

1 2

3 4

5



සම්බන්ධිත පුවත්

2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.


2026-09-08

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගන්නවා – විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.


2026-09-07

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කරුණු විමසයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද   ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී  මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින්  කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී  ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks