E   |     |  

2023-08-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි පාන්පිටි කිලෝවක විකුණුම් මිල රු.198 ක් බව නිවේදනය කරන්න - මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන් උපදෙස්

  • සිමෙන්ති කොට්ටයක ගොඩබාන මිල සහ  විකුණුම් මිල අතර පරතරය රු.700කට ආසන්න බැවින් අයථා ලාභය පිළිබද වාර්තාවක් කැඳවයි
  • රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බදු වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක්

 

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු.198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මේ බව නිවේදනයක් මගින් දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන්  නියෝග කෙරිණි.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ  සභාපති ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා  වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.08.15 දින කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගැනීමට නියමිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2023.06.14 ප්‍රකාශයට පත්කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇති රෙගුලාසි පිළිබඳව මෙහිදි අවධානය යොමුවිය.

2023.06.14 ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය, මෙරටට පාන්පිටි ආනයනය කරන සමාගම් තොග වැඩිපුර රදවා අතිරේක ලාභයක් ලැබීම වැළැක්වීම අරමුණු කරගනිමින් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසු බව කමිටු සභාපතිවරයා පැවසීය. එහෙත් මෙම තත්ත්වය තුළින් මෙරට පාන්පිටි සම්බන්ධයෙන් සියයට අසූවක වෙළදපොල අධිකාරීත්වය හිමි ප්‍රධාන සමාගම් ද්විත්වයට තිරිගු ධාන්‍ය ලෙස ගෙන්වීමට අවස්ථාව හිමිවූ බැවින් අතිරේක ලාභයක් ඉපයීමට හැකියාව ලැබී ඇත්දැයි සොයා බැලිය යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී.  මේ අනුව 2023.06.14 දින ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය මගින් අපේක්ෂිත අරමුණු කෙ‍තරම් දුරට ඉෂ්ට වී ඇති ද යන්න තහවුරු කිරීම සදහා පැවති පාන්පිටි තොග සහ වත්මන් තොග පිළිබද නිවැරදි දත්ත ලබා දෙන ලෙස මෙහිදී උපදෙස් දෙන ලදී. මේ අනුව මෙහිදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සොයා බැලීම සදහා අවකාශය ලැබෙනු ඇති බවද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ  අංක 2336/71 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග පිළිබදවද මෙහිදී අවධානය යොමු විය. සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනයේදී අය කරන සෙස් බද්ද සිමෙන්ති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රු. 2කින් වැඩිකිරීමට අදාළ මෙම නියෝග පිළිබදව මෙහිදී සාකච්ඡා විය.  කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ ‍සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවයි. තවද වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩුකළ විට රු. 700කට ආසන්න ලාභයක් ඇති බව කමිටුව පෙන්වා දුන්නේය.

සිමෙන්ති හා යකඩ ගොඩබාන මිල සහ අදාළ සියලු බදු අඩු කළ විට විකුණුම් මිල අතර විශාල පරතරයක් තබා ගනිමින් අයථා ලාභයක් ලබන බව පෙනීයන බැවින් ඒ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා  ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට කමිටු සභාපතිවරයා නියෝග කළේය.

තවද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස ගණනාවක වැඩ නැවතී ඇති බව හෙලී වූ අතර ඒ පිළිබදව මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබද වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දුන්නේය.

මීට පෙර ලක්ෂ 12ක පමණ වියදමකින් ඉදිකළ නිවසක් ඉදිකිරීම සදහා අවම වශයෙන් රු ලක්ෂ 24ක් පමණ වියදමක් යන බව ද නිලධාරීහු පෙන්වා දුන්හ. රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක් බවද කමිටුව විසින් අවධාරණය කරන ලදී. එසේම සිමෙන්ති මිල නියාමනය සදහා අදාළ අංශ මැදිහත්විය යුතු බව කමිටුව ‍විසින් පෙන්වා දෙන ලදී.

2021 අංක 11 දරන වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග  සලකා බැලීම සිදුවිය. ආයෝජන ගෙන්වා ගැනීම සදහා සහනදායි පියවර අනගමනය කිරීම ඇතුළු කරුණු පිළිබදව වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සහ ආ‍යෝජන මණ්ඩලයේ නිලධාරීහු කරුණු පැහැදිළි කළහ.

මේ අනුව උක්ත දක්වා ඇති නිර්දේශවලට යටත්ව මෙම ගැසට් පත්‍ර හතර සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු නාලක ගොඩහේවා, ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත සහ ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 6

 



සම්බන්ධිත පුවත්

2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.


2026-09-08

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගන්නවා – විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.


2026-09-07

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කරුණු විමසයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද   ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී  මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින්  කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී  ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks