පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-07-17
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
විදෙස් රටවල පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති/ මහකොමසාරිස් කාර්යාල හරහා සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කරන ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට පසුගියදා දැනුම් දෙන ලදී. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය අදාල පාර්ශ්ව වෙත ලබා දෙන ලෙසත් කාරක සභාව විසින් වැඩිදුරටත් දන්වා සිටින ලදී.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා විය.
ඉහළ ආදායම් ලබන රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමත්, ඒ තුළින් සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබිය හැකි ආදායම් ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීම තුළ විශාල වාසියක් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇති බැව් ගරු යදාමිණී ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන් අතර ඒ පිළිබදව වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කැඳවීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් රුමේනියාවේ දී විවෘත කිරීමට අදාළ කටයුතු කඩිනම් කරන ලෙසත් කාරක සභාව විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත සිය නිර්දේශ ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව හා රුමේනියාව අතර සබඳතා පුළුල් කිරීම හා රුමේනියාවේ සේවයේ නියුතු ශ්‍රි ලාංකික ප්‍රජාවගේ අවශ්‍යතාවයන් සපුරාලීම මෙහි අරමුණ විී තිබේ.
තවද, මෙම කාරක සභාවේදී මීට පෙර ලබාදුන් නිර්දේශය අනුව විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි පරිදි අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් අදාල බලධාරීන් වෙත කාරක සභාව සිය ස්තූතිය පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන රුසියානු සංචාරකයන් හට ශ්‍රී ලංකාවේ දී සිය ගෙවීම් කිරීම පහසු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව කාරක සභාවේ දී සාකච්ඡා කරන ලදී. එහිදී, රුසියානු සංචාරකයන් සඳහා දැනට මහජන බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය හා UnionPay ක්‍රමවේදය පිළිබදව කාරක සභාව අදාල බලධාරීන්ගෙන් විමසූ අතර යථෝක්ත සංචාරකයන් සඳහා මෙම ක්‍රමවේද දෙකම අනුගමනය කළ හැකි බැව් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු පෙන්වා දෙන ලදී. ඒ අනුව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල බලධාරීන්ට කාරක සභාව නිර්දේශ කිරීම සිදුවිය.
තවද, විදෙස් සංචාරකයන් සඳහා වෙනත් රටවල් භාවිතා කරන නූතන ගෙවීම් ක්‍රම පිළිබඳව වාර්තාවක් සකස් කර එය කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කළ නිලධාරීන්ට කාරක සභාව විසින් නියම කරන ලදී.
තවද, 2030 වසර වන විට සංචාරකයන් මිලියන 5ක පමණ පිරිසක් මෙරටට සංචාරය සඳහා පැමිණෙතැයි අපේක්‍ෂා කරන බැව් මෙහිදී අනාවරණය විය. එබැවින් එලෙස පැමිණෙන සංචාරකයන් සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධන කිරීම පිණිස අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කොට සුදුසු යාන්ත්‍රනයක් සකස් කරන ලෙස කාරක සභාව අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු අකිල එල්ලාවල, ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, ගරු යදාමිණී ගුණවර්ධන සහ ගරු නීතිඥ මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම විකොඩි මහතා කාරක සභාවේ සභාපතිතුමාගේ අවසරය පරිදි මෙම රැස්වීමට සහභාගී විය.
මෙම රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යන ආයතන වල නිලධාරීහු සහභාගී වූහ.
2026-06-09
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් සිදුකරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද දින (ජුනි 09) හිමි විය.මෙම වාර්තාව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශනවල කරුණු ඇතුළත් වන අතර, එය 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව අදාළ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර, එම අමාත්‍යවරුන්ගේ පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කරුණු යළි සලකා බලන ලදී.එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි අනාවරණය වූ මූල්‍යමය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, කාරක සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඒකමතිකව තීරණය කෙරිණි.ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන යෝජනාව පාර්ලිමේන්තුව විසින් අද දින අනුමැතිය ලබාදෙන ලදී.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවක් මීට ඉහතදී මෙලෙස නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර නොතිබූනු අතර, එවැනි ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ පළමු අවස්ථාව ද මෙය වෙයි.
2026-06-08
2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී ඇත. 2026 අයවැය මගින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අලුතින් ඉදි කරන දූරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබා දීම අපේක්ෂා කෙරේ. මෙම පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව හෝ ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් ලබා දීම එහි ප්‍රධාන ප්‍රතිපාදනය වේ.එසේම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක් විය. වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම හා යාවත්කාලීන කිරීම මෙන්ම, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවල (Bad Debts) අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීම සහ 2014 වසරේ සිට ක්‍රියාත්මක බදු අනුපාතයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම බව මෙහිදී නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.මෙහිදී බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූ අතර, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු ( Telecom Levy ) අඩු කිරීමේ අවසරය ලබාදීමට අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි නොවීය.එම යෝජනාව ඉදිරිපත් කරමින් නිලධාරීන් සඳහන් කළේ වත්මන් පනත යටතේ පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී බදු ගණනය කිරීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින්, නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට නොගෙවූ බිල්පත් මත තිබෙන බදු මුදල්වලින් අඩු කිරීමට අවසර ලබා දීමට යෝජනා කර ඇති බවයි.කෙසේ වෙතත්, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කරන ලදී. එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන අතර ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු අඩු කිරීමේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා එය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට කාරක සභාව තීරණය කෙරිණි.මේ අතර, මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සඳහා රජයේ ලාංඡනය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් "Licensed" යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳව කාරක සභාව විමසූ අතර, අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්‍ර නිකුත් කර නොමැති බවයි.මෙම, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා දීමට කාරක සභාව තීරණය කරන ලදී.තව ද මූල්‍ය, බදු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන හතරකට අදාළ නියෝග සලකා බැලූ අතර, ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය හිමිවිය.ඒ අනුව, ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අය කිරීම විධිමත් කිරීම සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ නිෂ්පාදන බද්ද යටතේ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) සඳහා නව ජාතික උපබෙදුම් හඳුන්වා දීම පිළිබඳ නියෝග සලකා බැලිණි.තව ද, දේශීය රෙදිපිළි කර්මාන්තය සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කොට 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීමට අදාළ නියෝග මෙහිදී සලකා බැලිණි. මෙම වෙනස්කම හේතුවෙන් ආනයන අවස්ථාවේදී ගෙවිය යුතු බදු ප්‍රමාණය ඉහළ ගිය ද, VAT බද්ද සඳහා ලියාපදිංචි වී ඇති ආයතනවලට එම බදු මුදල Credit ලෙස නැවත ලබා ගත හැකි බැවින්, ඔවුන්ට ඉන් සහනයක් සැලසෙන බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම උදෙසා, ආපදා සහන ගෙවීම් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමට අදාළ නියෝගය ද මෙහිදී සලකා බැලිණි.
2026-06-08
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් වීමේ සිදුවීමට අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (ජුනි 05) පාර්ලිමේන්තුවේදී රැස් විය. එම සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබිණි.එහිදී, සිදුවීමට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශනවලදී අධිකරණ නියෝගවලට අනුවම කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදි. එමෙන්ම, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට ද කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි. වින්දිත දැරිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුරයට අමතරව අත්තනගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල ද අධිකරණ නඩු කටයුතු සිදු වන බැවින් එම නඩු කටයුතු අධීක්ෂණය සඳහා ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත් වීමක් සිදු කරන ලෙස සංසදය විසින් උපදෙස් ලබා දෙන ලදී. මෙම නඩු කටයුතු ත්‍රිත්වයටම සම්බන්ධ වීම නිසා වින්දිත දැරිය නැවත නැවතත් පීඩාවට පත්වීම අවම වන ලෙස කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.එමෙන්ම, අධිකරණ සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කර ගැනීමටත්, රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදු කළ ඉල්ලීමට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව පළ කෙරිණි. වින්දිත දැරියගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංසදය විසින් දැනුම් දෙන ලදී.එසේම, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊට අදාළ මැදිහත් වීම ඉදිරියේදී සිදු කිරීමට ද එකඟතාව පළ කළේය.තව ද, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය වාර්තා කිරීමේදී දරුවාගේ පුද්ගලිකත්වය, ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව මත මාධ්‍ය සහ අධිකරණ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් සකස් කළ යුතු බවටත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව මැදිහත් වීමටත් තීරණය විය.ළමා අපයෝජන නඩු කටයුතුවලදි මතු වන නීතිමය සහ ප්‍රායෝගික බාධා මගහරවා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වන ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතීඥ) හසාරා ලියනගේ, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර සහ (නීතීඥ) සාගරිකා අතාවුද යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (නීතීඥ) තුෂාරි ජයසිංහ සහ (නීතීඥ) අනුෂ්කා තිලකරත්න යන මහත්මීහු මාර්ගගත තාක්ෂණය ඔස්සේ (online) රැස්වීමට සම්බන්ධ වූහ.
2026-06-05
රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කෙරේ2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීම සිදු විය. ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, චම්පික හෙට්ටිආරච්චි සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (02) රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සමෘද්ධි බැංකු විගණනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 වර්ෂයට අදාළ විගණනය කිරීම සඳහා 2023 සහ 2024 වර්ෂවල විගණන දෙක අවසන් කළ යුතු බවයි. එම විගණනයන් බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව නිලධාරීහු මෙහිදී පැවසූහ. මෙම කටයුතු සඳහා නිලධාරීන් 300ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබුණද, වසර 1 1/2ක් තුළ මේ සඳහා නිලධාරීන් 200ක් බඳවා ගැනීම ප්‍රමාණවත් බව විගණකාධිපතිතුමිය මෙහිදී පැවසුවාය. එසේම, මෙම බැංකුව විගණනයට අදාළව නිශ්චිත ක්‍රමවේදයක් (Frame Work) නොපවතින බවද නිලධාරීහු අවධාරණය කළහ. මේ අනුව, මේ පිළිබඳව අධ්‍යයනය කර සමෘද්ධි බැංකු හා සමිති විගණනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය යෝජනාවක් ලෙස කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය. තවද, සයිබර් ආරක්ෂණ (Cyber Security) ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර විගණන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දෙපාර්තමේන්තුවේ නොමැති බවත්, පද්ධති විගණනයේදී එය බාහිර පාර්ශ්ව (External Auditors) විසින් සිදු කරන බවත් ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු වැඩිදුරටත් පැවසුහ. මීට අමතරව රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) වැඩසටහනට අදාළ ගිණුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදුවිය. Rebuilding Sri Lanka යනුවෙන් ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැති බව එහිදී අනාවරණය වූ අතර, මෙය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ තිබෙන ගිණුමක් පමණක් බව ජාතික විගණන කාර්යාල නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම එමගින් මෙතෙක් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවත් නිලධාරීහු පැවසූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


