E   |   த   |  

2023-07-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොණු ලක්ෂ 05න් බදු ගෙවන්නේ 31,000ක් පමණයි - ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා

  • දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට සාකච්ඡා
  • බදු ආදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීමට යෝජනා

 

මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොණු ලක්ෂ 05ක් පැවතියද එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන් 82%ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යාතර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමේදී සැපිරිය යුතු කරුණු වන රටේ උද්ධමනය, ‍රටේ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම පිළිබඳ දෙවන සමාලෝචනය කිරීම් සිදු කරන දෙසැම්බර් මාසය වන විට ප්‍රශස්ත තත්ත්වයක පවත්වා ගැනීම වැදගත් වන බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන සමග සිය කමිටුව නිරන්ර සාකච්ඡා පවත්වමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයතු කරන බවද සභාපතිවරයා පැවසීය.

ඒ මහතා මේ කරුණු සඳහන් කළේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 06) රැස්වූ අවස්ථාවේදීය.

උක්ත බදු අදායම් ඒකරාශී කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ සභාපතිවරයා මෙම බදු ආදායම් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් කාරක සභාව ලෙස ඒ සම්බන්ධව සාධනීය මැහත්වීම් සිදුකරමින් පවතින බවද සඳහන් කළේය.

මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති හිග බදු මුදල වන රුපියල් බිලියන 904ක මුදල අයකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. බදු ආදායම් අයකර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමටත්, බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීම පිළිබඳවත් අධිකරණ අමාත්‍යතුමා සමග සාකච්ඡා සිදු කරමින් පවතින බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එයට අමතරව දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහාද සිය සහය උපරිමයෙන් ලබා දෙන බවද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කළේය. 2023 වර්ෂය සඳහා රජය විසින් ලබා දී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.6 ක මුදල මුල් මාස 6 තුළ 40%ක් ලෙස සහ ඉතිරි මාස 6තුළ 60%ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිත වූ බවත් මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වන විට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය. එයට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවද ඒ මහතා පැවසිය.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි‍. මෙහිදි සාමාජික මන්ත්‍රීවරු මෙන්ම නිලධාරීන්ද පෙන්වා දුන්නේ මෙරට සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ලබා දෙන දත්ත සත්‍ය ඒවා නොවීම හේතුවෙන් බදු අය කරගැනීමේදී ගැටළු වලට මුහුණ පෑමට සිදු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ඉතා ඉක්මනින් සකසා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙරට පෞද්ගලික බදු ලිපිගොණු නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් වන ගරු විමලවීර දිසානායක, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු සුදත් මංජුල, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු ධම්මික පෙරේරා, මෙන්ම ගරු උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ගරු මධුර විතානගේ, ගරු එම්. මුසාම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වූහ.

එමෙන්ම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද කමිටුවට සහභාගී වූහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-11-16

අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2026-11-14

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් - යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ අවධානය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-14

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks