පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-07-01
ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන ඇඟළුම් නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් නියෝජනය කරන සංවිධානය වන ඒකාබද්ධ ඇඟළුම් නිෂ්පාදකයන්ගේ සංසදය පසුගියදා පැවති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්‍ෂණ කාරක සභාව හමුවට කැඳවන ලදී.
මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.22 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර මෙරට ඇගලුම් කර්මාන්තයේ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ඇඟළුම් ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා ගණනාවක් සිය කර්මාන්ත ශාලා වසා දමා විදේශයන්හි සිය කර්මාන්ත ස්ථාපිත කරමින් සිටින බව ද දැනට ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විසින් නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවෙන් 25% කට අඩු ප්‍රමාණයක් බව ද ඇඟළුම් නිෂ්පාදකයෝ මෙහිදී පැවසූහ. තවද අමුද්‍රව්‍ය තීරුබදු, විදුලි ගාස්තු නිසා පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොල තුළ සිය තරඟකාරීත්වය විශාල වශයෙන් පහළ ගොස් ඇති බවත්, නව ඇණවුම් ලැබීම ඉතා බරපතල ලෙස අඩු වී ඇති බවත් ඔවුහු කරුණු පෙන්වා දුන්හ.
සෘජු රැකියා ලක්‍ෂ 3 1/2 ක් පමණ හා වක්‍ර රැකියා ලක්‍ෂ 3 ක් පමණ මෙම කර්මාන්තය විසින් රටට සපයා ඇති බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
මීට අමතරව බිලියන ගණනක VAT මුදල් ප්‍රතිපූර්ණ නොලැබීම නිසා තමන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ද ඇඟළුම් නිෂ්පාදකයෝ කමිටුවට තොරතුරු ඉදිරිපත් කරන ලදී.
කර්මාන්තය මුහුණ දෙමින් සිටින විදුලි බිල ඇතුලු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, නව බදු පැනවීම, ලෝක වෙළඳපළ කඩා වැටීම, ඇනවුම් අඩුවීම් වැනි තර්ජන හමුවේ SVAT ක්‍රමය ඉවත් කිරීමෙන් ඇඟළුම් කර්මාන්තය මුළු මනින්ම කඩා වැටීමේ ඉඩකඩක් පවතින බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.
ඒ අනුව SVAT ක්‍රමය ඉවත් කිරීමට පෙර කර්මාන්තයේ ආරක්‍ෂාවට සුදුසු ක්‍රමවේදයක් කර්මාන්තයට හඳුන්වා දීම සඳහා පෙනී සිටින බව කමිටුව සහතික විය. ස්වයංක්‍රීය VAT Refund ක්‍රමයක් ක්‍රියාත්මක වන තුරු යෙදවුම් බදු කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය කමිටුව පිළිගන්නා ලද අතර ඉතා කඩිනමින් ඒ සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවටත්, රජයටත් ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කරන බවට එහි සභාපති ගාමිණී වලේබොඩ මහතා සහතික විය.
විදේශ විනිමය රුපියලට පරිවර්තනය කිරීමේදී පවතින ගැටලු හා කලාපයේ පවතින නීති පිළිබඳ කරුණු සාකච්ඡා වූ අතර එහිදී කලාපයේ අනෙකුත් රටවල අපනයන ආදායම් දේශීය මුදලට පරිවර්තනය සම්බන්ධයෙන් තිබෙන නීති හා ප්‍රතිපත්ති ඇසුරින් වාර්තාවක් කමිටුව වෙත ලබා දෙන ලෙස සභාපතිවරයා දන්වා සිටින ලදී.
එසේම ඉහත කී යෝජනාවලිය රජය වෙත ඉදිරිපත් කිරීම් කටයුතු වේගවත් කර ගැනීම සඳහා JAFF සංගමය විසින් ආංශික කාරක සභාව වෙත ලබා දිය යුතු ඉදිරි සහයෝගය පිළිබඳවද සාකච්ඡා විය. ඊට අමතරව පොදුවේ කර්මාන්තකරුවන් හා ආයෝජන මණ්ඩල ප්‍රදේශවල කර්මාන්තකරුවන් මුහුණපාන ගැටලු කෙරෙහිද අවධානය යොමු විය.
මෙම සාකච්ඡාව සඳහා ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු ඩබ්. එච්. එම්. ධර්මසේන යන මන්ත්‍රීවරුන්ද, ආරාධිත මන්ත්‍රීවරුන් ලෙස මහාචාර්ය චරිත හේරත්, අසංක නවරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, සුදත් මංජුල, මොහොමඩ් මුසම්මිල්, කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරු ද සහභාගී වූහ.
2026-09-18
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

