පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-06-14
• ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව පනතක් සකස් කරන ලෙසට නියෝග
• බන්ධනාගාර තුළ තදබදය 250% කින් ඉහළ නැගලා
• සේවක පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට උපදෙස්
• රසපරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 09) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිහිටුවීමේ පවතින පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව පනතක් සකස් කරන ලෙස ලෙස මීට පෙර කෝපා කමිටුවෙන් නිර්දේශ කර තිබියදීත් එම කටයුතු ප්‍රමාදවීම වීම කෙරෙහි කමිටුවේ අප්‍රසාදය පළ විය. ඒ අනුව මෙම කටයුතු අවසන් කිරීම පිළිබදව නිශ්චිත කාල රාමුව සහිත වාර්තාවක් ජූලි 10 වන විට ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා නියෝග කළේය.
බන්ධනාගාර තුළ ධාරිතාව ඉහළ ගොස් ඇති බවත් මෙම අගය සාමාන්‍යයෙන් 259%ක අගයක් ගන්නා බවත් ඇතැම් බන්ධනාගාරවල මෙම අගය 300% - 400% ක වැඩිවීමක් ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. මේ අනුව බන්ධනාගාර තුළ රැදවුවන් 11762 ක සංඛ්‍යාවක් සදහා පමණක් ඉඩකඩ පැවතියද මේවන විට 26791 ක ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටින බව ද මෙහිදී අධිකරණ අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අනාවරණය කළාය.
මෙම සංඛ්‍යාවෙන් 17502 ක් රිමාන්ඩ් සිරුකරුවන් බවද ඉන් 10470ක්ම මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදිකරුවන් බවද මෙහිදී හෙළිවිය. එසේම වැරදිකරුවන් බවට අධිකරණයෙන් නියමවූ පුද්ගලයන් 9289 ක් සිටින බවත් ඉන් 3569ක් මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදිකරුවන් බවත් බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මේ අතරින් 1309 ක් දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරතව සිටින පිරිස බවද මෙහිදී අනාවරණය විය.
දඩමුදල් ගෙවාගත නොහැකි පිරිසට වෙසක් පොසොන් වැනි අවස්ථාවලදී විශේෂ සමාව යටතේ නිදහස් කළද නැවත කෙටිකලක් තුළ වැරදිකරුවන් ලෙස බන්ධනාගාරගතවීම විශාල ගැටලුවක් බවද අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා මෙහිදී පැවසීය.
මේ වන විට මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදිකරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව නව මධ්‍යස්ථාන 9 ක පුනරුත්ථාපන කටයුතු සිදුවන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මෙම තත්ත්වය පාලනය සදහා අවශ්‍ය යෝජනා සහ සැලසුම් කඩිනමින් සකස් කොට ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන්ට කමිටුව දන්වා සිටියේය.
එසේම මේ වන විට සිටිය යුතු සමස්ත සේවක සංඛ්‍යාව වන 7872න් පුරප්පාඩු 1663ක් පවතින බවද අනාවරණය විය. මේවා සම්පූර්ණ කිරීමට මෙන්ම සමස්ත සේවක සංඛ්‍යාවේ වැඩිවීමක් අවශ්‍යනම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසද කෝපා සභාපතිවරයා උපදෙස් දෙන ලදී.
බන්ධනාගාරය තුළ පුද්ගල ශරීර පරීක්ෂාව සිදුකරන සහ භාණ්ඩ මලු පරීක්ෂාව සදහා පවතින යන්ත්‍ර 11කින් 4ක් ක්‍රියා විරහිත බවද අනාවරණය විය. මෙම යන්ත්‍ර වසර 10කට වැඩි කාලයක් පැරණි බැවින් අලුත්වැඩියාවට යන වියදමට සාපේක්ෂව නව යන්ත්‍ර මිලදී ගැනීම ලාබදායී බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව සියලු බන්ධනාගාරවලට අදාළව අවශ්‍ය යන්ත්‍ර පිළිබදව සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බන්ධනාගාරය තුළ දුරකථන සංඥා ක්‍රියා විරහිත කරන ‘ජෑමර්’ උපකරණ නිසා අවට ප්‍රදේශවල ද සංඥා ක්‍රියාත්මක නොවීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය. දැනට යුධ හමුදාවේ සංඥා බලකාය මගින් මෙම කටයුතු සිදුකරන බවත් අදාළ ප්‍රදේශයට පමණක් ඉතා නිවැරදිව ක්‍රියාත්මක වන තාක්ෂණයක් මේවන විට දියුණු රටවල පවතින බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ඒ අනුව අදාළ ආරක්ෂක අංශ සමග මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග මේ පිළිබද සාකච්ඡා කොට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කමිටුව විසින් උපදෙස් දෙන ලදී.
රසපරීක්ෂක වාර්තා පමාවිීම පිළිබදව ද කමිටුවේ සාකච්ඡා විය. මෙහිදී රජයේ රසපරීක්ෂක දීපිකා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ විද්‍යාත්මක නිලධාරීන් බහුතරයක් විදේශගතවීම නිසා පුරප්පාඩු 25ක් පවතින බවයි. කෙසේ වෙතත් ලබා දීමට නියමිත වාර්තා ප්‍රමාණය 3944 ක් දක්වා අඩු කරගැනීමට හැකිවූ බවත් තවත් නිලධාරීන් 15ක් කොන්ත්‍රාත් පදනම යටතේ බදවාගෙන කඩිනමින් ගොඩගැසී ඇති ප්‍රමාණය අවසන් කරන බවත් ඇය පවසා සිටියාය. එසේම 2021, 2022 වසරවල සාමාන්‍යයෙන් මසකට ලබා දිය යුතු වාර්තා ප්‍රමාණය 1200-1500 අතර වුවද මේ වසරේ මසකට 2500 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් පවසා සිටියාය. ඉන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සිද්ධීන් බවත් මෙහිදී හෙළිවිය. අවශ්‍ය සේවක සංඛ්‍යාව සම්පූර්ණ කොට මෙම කටයුතු විශේෂ කාර්යක් සේ සලකා කඩිනමින් ඉටුකරන ලෙස කමිටුව උපදෙස් දුන්නේය.
මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධ නිවැරදි පරිගණක දත්ත පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව, ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී සිරකරුවන්ගේ ආහාර සැපයීම සදහා අතාත්වික මිලගණන් යොදා ටෙන්ඩරය ලබා ගැනීමෙන් අනතුරුව ආහාර ප්‍රමිතිය අඩුකිරීම යනාදි කරුණු පිළිබදවද සාකච්ඡා විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඩයනා ගමගේ සහ ගරු ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු නිරෝෂන් පෙරේරා, ගරු විමලවීර දිසානායක, ගරු ජයන්ත කැටගොඩ, ගරු මංජුලා දිසානායක, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු මුදිතා ප්‍රශාන්ති යන මහත්ම මහත්මීහු ද කමිටුවේ අවසරය මත ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ද සහභාගී වූහ.
2026-11-16
පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-14
ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-14
ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-13
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

