පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ජුනි 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
“දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මතු සඳහන් පරිදි වේ:—
වගන්ති 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40, 48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වේ.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවයන් නතර වනු ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නේය.
එම සංශෝධනයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇත්තේ පනත් කෙටුම්පතේ 8(3), 136, 141, 142 සහ 156 වගන්ති සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් සඳහන් කර ඇති සංශෝධන මගින් පෙත්සම්කරුවන් විසින් අවධාරණය කර ඇති කරුණු ද විසඳිය හැකි බවද කථානායකවරයා සඳහන් කළේය.
එයට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පළාත් සභා මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජනා කර ඇති පරිදි පනත් කෙටුම්පතේ 3 වගන්තිය සංශෝධනය කිරීමට හා 4 වගන්තිය ඉවත් කළ යුතු බවට වූ නියමයන්ට යටත්ව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා දන්වා සිටියේය.
එමෙන්ම “ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” සේවය කිරීම සඳහා ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාගේ සභාපතිත්වය යටතේ පහත දැක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තමා විසින් පත් කර ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් , ගරු ඩයනා ගමගේ , ගරු (මහාචාර්ය) ජී.එල්. පීරිස්, ගරු නීතිඥ රවුෆ් හකීම්, ගරු විජිත හේරත්, ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු නිරෝෂන් පෙරේරා, ගරු අජිත් මාන්නප්පෙරුම, ගරු නිමල් ලාන්සා, ගරු තුෂාර ඉදුනිල් අමරසේන, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ගරු අකිල එල්ලාවල, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, සහ ගරු නීතිඥ මධුර විතානගේ යන මන්ත්‍රීවරයන් කාරක සභාවේ සේවය කිරිම සඳහා පත් කොට තිබේ.
එයට අමතරව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2022 නොවැම්බර් 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ඒ ඒ ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැන්වීය.
ඒ අනුව, ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු කෝකිලා ගුණවර්ධන මහත්මියද, ප්‍රතිසංධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු මර්ජාන් ෆලීල් මහතාද, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු නීතිඥ මධුර විතානගේ මහතාද, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතාද , බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතාද, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු සී. බී. රත්නායක මහතාද, පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ජයන්ත කැටගොඩ මහතාද පත්කොට තිබේ.
එමෙන්ම, විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ගාමිණී ලොකුගේ මහතාද, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මියද, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතාද, මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු තිසකුට්ටි ආරච්චි මහතාද, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාද තේරීම් කාරක සභාව විසින් පත්කොට ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දන්වා සිටියේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මිලාන් ජයතිලක මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා දැනුම් දුන්නේය.
එයට අමතරව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2023 මැයි 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර සහ ගරු නීතිඥ තලතා අතුකෝරල යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය.
2026-09-11
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායකවරයා සඳහන් කළේය. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් සහයෝගය මෙන්ම මෙරට පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබාදීම ඇතුළු සහයෝගය ද ඔහු මෙහිදී ඔහුගේ ඇගයීමට ලක් විය.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා සහ චීන පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා වැඩසටහන් සහ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේය. තවද, එක් තීරයක් - එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර වෙත පුළුල් වී ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.ගරු කථානායකවරයා ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහදශීලී බව සහ සිනහව තමන්ගේ සිත් ගත් බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හඳුන්වමින්, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලබාදුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති නාවික සහ සංස්කෘතික හුවමාරු සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ද එම සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඔහු සඳහන් කළේය.2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදු කළ සංචාරයන්හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදුන් බව ද ඔහු පැවසීය.චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව සඳහන් කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව ප්‍රකාශ කළේය.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වන අතර, දෙරට අතර රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම ද සනිටුහන් කෙරේ. මෙම වැදගත් අවස්ථා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ද තානාපති වේයි හුවාෂියැං මහතා සඳහන් කළේය.
2026-09-11
• විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 සහ 25 විවාදයටසැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනක ම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, සැප්තැම්බර් 22 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී ඇත. අනතුරුව ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමෙන් අනතුරුව එය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කිරීමට යටත්ව අදාළ දෙදින විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇත. සැප්තැම්බර් 25 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
2026-09-09
වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks