2023-05-25
පසුගිය 23 වැනිදා සිට සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් අද (මැයි 25) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළහ.
සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයෙකු විශ්‍රාම ගත්විට සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සදහා කාලය වෙන් කිරීම සිදුවේ. මේ අනුව අද පාර්ලිමේන්තුවේ පෙ.ව. 9.30 - ප.ව. 12.30 කාලය හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගැයීමේ යෝජනාව සදහා වෙන් කර තිබිණි. මෙහිදී සභාවේ අවසරය මත කථානායක අසුනට පහලින් පිහිටි ලේකම් මඩුල්ලේ ආසනයකට හිටපු මහලේකම්වරයාට කථානායකවරයා විසින් ආරාධනා කිරීම සිදුවිය.
අනතුරුව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගැයීමේ යෝජනාව ඉදිරිපත් කරන ලදී.
ධම්මික දසනායක මහතා පුරා වසර 29ක් මුළුල්ලේ ඉටුකළ අගනා සේවය, පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටි සහ පිළිවෙත් පිළිබදව එතුමා සතුවූ පුළුල් දැනුම මෙම පාර්ලිමේන්තුව ඉතා ඉහළින් අගය කරන බව එම යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා පැවසීය. එසේම රාජකාරී ඉටුකිරීමේදී එතුමා සතුවූ දැඩි කැපවීම ද පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය ලේකම් ලෙස කටයුතු කිරීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලය තුළත් ඉන් පිටතදීත් විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රී සංගම්වලදීත් එතුමාගෙන් ලැබුණු විශිෂ්ට දායකත්වය කෘතගුණපූර්වකව සලකන බවත් සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශ සිටියේ පාර්ලිමේන්තුව තුළ විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී ස්වාධීනව සහ ශක්තිමත්ම මුහුණ දීමට හිටපු මහලේකම්වරයාට හැකියාව හිමිවූ බවයි. කථානායකවරුන් හත් දෙනෙකු යටතේ මෙන්ම ආණ්ඩු ගණනාවක් තුළ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමට එතුමා සමත්වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඇතුළු එතුමාගේ සේවා කාලය තුළ මුහුණදීමට සිදුවූ ඉතාම අභියෝගාත්මක අවස්ථා නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව හිටපු මහලේකම්වරයාට ලැබුණු බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීම ඇතුළු වඩාත් ප්‍රජාතාන්ත්‍රික සාධනීය පියවරයන් සදහා හිටපු මහලේකම්වරයා විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කළ බවයි. සිය අත්දැකීම් ඇසුරෙන් මතු පරපුරට ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් පළ කරන ලෙස විපක්ෂ නායකවරයා හිටපු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කළේය. එසේම ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ලෙස ඉදිරියේදී මෙහෙවරක් සිදුකිරීමට සුබ පතන බව ඒ මහතා පැවසීය.
එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සුභාශිංශන එක් කරමින් පවසා සිටියේ ධම්මික දසනායක මහතාගේ විශිෂ්ට සේවය ප්‍රශංසනීය බවයි.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ හිටපු මහලේකම්වරයාට පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මේලනය ඇතුළු ජාත්‍යන්තර සම්මේලන සහ කටයුතුවලදී ඉහළ ගෞරවයක් සහ පිළිගැනීමක් හිමිවූ බවයි. එසේම පාර්ලිමේන්තුවට ගංවතුර පැමිණි අවස්ථාවකදී ඉටිපන්දම් එළියෙන් පාර්ලිමේන්තු කටයුතු සිදු කළ බවත් ඒ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම එතුමා විශාල ශක්තියක් වූ බව හිටපු කථානායකවරයා සිහිපත් කළේය.
අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් හිටපු මහලේකම්වරයාගේ සේවය අගය කරමින් සුබපැතුම් එක් කළහ. වෙසෙසින් පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ සෑම පාර්ශවයකින්ම ඇතැම් අවස්ථාවලදී එල්ලවන පීඩනය මනා ලෙස කලමනාකරණය කරගනිමින් අපක්ෂපාතීව ඍජුව කටයුතු කිරීමට එතුමාට හැකිවූ බවත් ඒ අනුව එතුමාගේ විශිෂ්ට සේවය ප්‍රශංසනීය බවත් බොහෝ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ.
හිටපු මහලේකම්වරයාගේ බිරිඳ වන නීතීඥ සලිනි නිල්මල්ගොඩ මහත්මිය, දරුවන් ඇතුළු ඥාතීන් පිරිසක් ද විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට මෙම අවස්ථාව නැරඹීමට එක්ව සිටියහ.
හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා පිළිබඳ කෙටි හැදින්වීමක්
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ධම්මික දසනායක මහතා සිය එල්.එල්.බී (නීතිඥ) සහ එල්.එල්.එම් (නීතිපති) උපාධි සම්පූර්ණ කළේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව 1988 දී එතුමා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති උපදේශක (පර්යේෂණ) ලෙස පත්විය.
ධම්මික දසනායක මහතා රජයේ අධිනීතිඥයෙක් ලෙස 1989 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ගාල්ල, කොළඹ, ගම්පහ, රත්නපුර, හලාවත, පානදුර, මීගමුව සහ අවිස්සාවේල්ල ඇතුළු මහාධිකරණ රැසකම රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවා තිබේ. තව ද, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ නඩු කටයුතු මෙන්ම ඇපැල් අධිකරණය ඉදිරියේ පවරන ලද අපරාධ නඩු අභියාචනා රැසක්ම සඳහා එතුමා රජය වෙනුවෙන් පෙනී සිට ඇත.
1994 දී, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ලෙස සිය පාර්ලිමේන්තු වෘත්තීය දිවිය ආරම්භ කළ ධම්මික දසනායක මහතා, 2003 දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට පත් වූ අතර 2012 වසරේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධූරයට උසස් විය.
දසනායක මහතා සිය දීර්ඝකාලීන පාර්ලිමේන්තු වෘත්තීය දිවිය තුළදී දේශීය සහ අන්තර්ජාතික ඇගයුමට ලක් වූ රාජ්‍යතාන්ත්‍රික කටයුතු රැසකට දායක වී ඇති අතර එතුමා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU), පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) සහ සාර්ක් පාර්ලිමේන්තු සංගමයේ සමුළු බොහෝ ගණනක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කොට තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයන්ගේ සංසදයේ දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ද, 2010 - 2012 කාලවකවානුවේ දී දකුණු ආසියානු කලාපීය මහලේකම්වරයන්ගේ සංසදයේ ලේකම් ධුරයද, සාර්ක් කථානායකවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර ඇත. එසේම, පොදුරාජ්‍ය මණ්ඩල පදනම විසින් 2000 වර්ෂයේ දී පාර්ලිමේන්තු පරිපාලන කටයුතු සඳහා වූ අධිශිෂ්‍යත්වයක් ද දසනායක මහතා වෙත පිරිනමා ඇත.
ධම්මික දසනායක මහතා වසර 29ක පාර්ලිමේන්තු සේවා කාලයක් සපුරමින් 2023.05.22 දින විශ්‍රාම දිවියට එළඹෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 06 වැනි මහ ලේකම්වරයා ලෙසයි.
2026-09-11
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායකවරයා සඳහන් කළේය. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් සහයෝගය මෙන්ම මෙරට පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබාදීම ඇතුළු සහයෝගය ද ඔහු මෙහිදී ඔහුගේ ඇගයීමට ලක් විය.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා සහ චීන පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා වැඩසටහන් සහ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේය. තවද, එක් තීරයක් - එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර වෙත පුළුල් වී ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.ගරු කථානායකවරයා ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහදශීලී බව සහ සිනහව තමන්ගේ සිත් ගත් බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හඳුන්වමින්, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලබාදුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති නාවික සහ සංස්කෘතික හුවමාරු සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ද එම සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඔහු සඳහන් කළේය.2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදු කළ සංචාරයන්හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදුන් බව ද ඔහු පැවසීය.චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව සඳහන් කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව ප්‍රකාශ කළේය.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වන අතර, දෙරට අතර රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම ද සනිටුහන් කෙරේ. මෙම වැදගත් අවස්ථා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ද තානාපති වේයි හුවාෂියැං මහතා සඳහන් කළේය.
2026-09-11
• විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 සහ 25 විවාදයටසැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනක ම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, සැප්තැම්බර් 22 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී ඇත. අනතුරුව ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමෙන් අනතුරුව එය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කිරීමට යටත්ව අදාළ දෙදින විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇත. සැප්තැම්බර් 25 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
2026-09-09
වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.