පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුව අද (මැයි 23) පෙරවරු 9.30 ට රැස්වූ අතර එහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පහත සඳහන් නිවේදන ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(5)(ඇ) ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දැරූ, ධම්මික දසනායක මහතා, එම ධුරයෙන් 2023 මැයි 23 දින සිට විශ්‍රාම ගිය බව කථානායකතුමා පාරලිමේන්තුවට දැනුම් දුන්නේය. ධම්මික දසනායක මහතාගෙන් ලැබී ඇති 2023 මැයි 17 දිනැති ලිපියද කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(1) ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ගරු ජනාධිපතිතුමා විසින් කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් කර ඇති බවද කථානායකතුමා නිවේදනය කළේය.
එයට අමතරව “ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත දැක්වෙන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් නම් කරන ලද බවද කථානායකතුමා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය. ඒ අනුව ගරු රංජිත් සියඹලාපිටිය, ගරු අනුප පස්කුවල්, ගරු අශෝක් අබේසිංහ, ගරු බී. වයි. ජී. රත්නසේකර, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු රාජිකා වික්‍රමසිංහ, සහ ගරු සමන්ප්රිය හේරත් යන මහත්ම මහත්මීන් ඒ සඳහා පත් කොට තිබේ.
“කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවද කථානායකතුමා දන්වා සිටියේය. ඒ අනුව ගරු විදුර වික්‍රමනායක, ගරු ප්‍රසන්න රණවීර, ගරු ගයන්ත කරුණාතිලක, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු කේ. සුජිත් සංජය පෙරේරා, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් මෙලෙස පත් කොට තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, 2023 මැයි 23 එනම් අද දින “රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බවද කථානායකතුමා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2026-11-16
කොරියානු ජනරජයේ ජාතික සභාව නියෝජනය කරමින්, ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ (CPE) දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවූහ.පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ජනගහන ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ ආර්ථික හුවමාරු යන ක්ෂේත්රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.කොරියානු දූත පිරිස කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සභාපති සහ ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ උප සභාපති ගරු ලී යැං-සු (Lee Yang-soo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණියහ. එම දූත පිරිසට එම ලීගයේ සාමාජික ගරු ක්වාක් සෑං-ඊඔන් (Kwak Sang-eon) මහතා, කොරියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ගරු කිම් සෝ-හී (Kim So-hee) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ගරු යූන්-ජුං කිම් (Youn-Jung Kim) මහත්මිය ද ඇතුළත් වූහ. 1989 වසරේදී පිහිටුවන ලද ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගය, දේශගුණික විපර්යාස, ජනගහනය සහ ළමා සුබසාධනය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරීම සැලකිල්ලට ගනිමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධානය යොමු කළේය. විශේෂයෙන්ම, දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සහ කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවූ සැලකිය යුතු හානි පිළිබඳව ඔහු සඳහන් කළේය.එමෙන්ම, උපත් අනුපාතය පහළ යාම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ජනගහන අභියෝග පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළේය. මෙම තත්ත්වයන් අනාගතයේදී යැපෙන්නන්ගේ අනුපාතයට සහ ශ්‍රම බලකාය සපයා ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ එය ශක්තිමත් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.කොරියානු ජනරජය තුළ පහළ යන උපත් අනුපාතයට මුහුණදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින්, කොරියානු නියෝජිතයෝ අලුත විවාහ වූ යුවළ සඳහා දැරිය හැකි කුලී නිවාස යෝජනා ක්‍රම, අඩු පොලී ණය සහ නිවාස දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් පැහැදිලි කළහ.විශ්‍රාම වැටුප් ආවරණයේ පවතින හිඩැස් අවම කිරීම සඳහා විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනා පිළිබඳව ද දූත පිරිස අදහස් පළ කළහ. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තරුණ පරපුරට ප්‍රමාණවත් රැකියා අවස්ථා සහතික කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.ආර්ථික සංවර්ධනය සමඟ පරිසර ආරක්ෂාවට ද ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. ස්වාභාවික ආපදා හේතුවෙන් වසර ගණනාවක් පුරා අත්කරගත් ආර්ථික ප්‍රගතියට හානි සිදුවිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.ශ්‍රී ලංකාව තුළ කොරියානු සංස්කෘතිය, විශේෂයෙන්ම කොරියානු පොප් සංගීතය ජනප්‍රිය වීම සහ දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගත හැකි තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථාවල ප්රතිලාභ පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ. එම පුහුණු අවස්ථා මඟින් වෘත්තීය කුසලතා වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට ද ආර්ථික ප්රතිලාභ හිමිවන බව මෙහිදී සඳහන් විය.ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත පරිසරය හා සංවර්ධනය පිළිබඳ ආසියා – පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවට (APPCED) සහභාගී වන ලෙස කොරියානු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආරාධනා කළහ. එම සමුළුවේදී කොරියාව රටවල් කිහිපයක් වෙනුවෙන් සභාපතිත්වය දරනු ඇත.එසේම, ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සඳහා කොරියානු ව්‍යාපාරික ආයතනවල සහභාගීත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
2026-11-16
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටුම් පැවති සමයේ සහ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් හෝ භාර වූ පුද්ගලයන් 12,196 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන, යෝගා සහ ආධ්‍යාත්මික වැඩසටහන්, මූලික අධ්‍යාපන හා භාෂා පුහුණු වැඩසටහන් මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමේ වැඩසටහන් මෙන්ම චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව ඇතුළත් සෞන්දර්ය වැඩසටහන්, රියදුරු පුහුණුව සහ ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇති බවත්, එම පුහුණුවට අදාළ උපකරණ සහ වෙනත් ආධාර ද ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.එමෙන්ම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ණය මුදල්, නිවාස, මහන මැෂින්, ධීවර දැල්, පාපැදි, ජල පොම්ප, වඩු උපකරණ, සැකසුම් උපකරණ, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් සහ ත්‍රීරෝද රථ ඇතුළු ආධාර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සභාගත කළ වාර්තාවේ සඳහන් වේ.
2026-11-16
දිවයිනේ විවිධ පළාත්වල පිහිටි පාසල්වල මේ වන විට ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරන ගුරුවරුන් 4,700 දෙනෙකු ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 06/2282/229/085-II අනුව මෙම බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ගුරු සහායකයින් ලෙස බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වලට පත් කිරීමට අනුමැතිය ලැබී ඇති ස්වේච්ඡා ගුරුවරුන් 4,700 දෙනාගෙන් 462 දෙනෙකු උතුරු සහ නැගෙනහිර පළාත් වලට පත් කිරීමට අනුමැතිය ලබා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. නැවත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026-11-14
දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාම වැළැක්වීම සඳහා තිරසර විසඳුමක් ලබා දීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රිය සේවකයන් දැනුවත් කිරීම, වන අලි වාසස්ථාන කළමනාකරණය කිරීම සහ නවීන නිරීක්ෂණ හා හඳුනාගැනීමේ තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් දුම්රියේ ගැටී වන අලි මිය යාම අවම කිරීම අරමුණු කර ඇත.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව ,දුම්රිය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දෙපස හොඳින් දර්ශනය වන හා වඩා හොඳින් වේගය පාලනය කළ හැකි දියුණු දුම්රිය කට්ටල හඳුන්වා දීම මෙන්ම ගල්ඔය හන්දියේ සිට හිඟුරක්ගොඩ හා ගල්ඔය හන්දියේ සිට කන්තලේ දෙසට සම්පූර්ණයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය කි.මී. 27 ක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානවල ගල්අතුරා වන අලින්ට පහසුවෙන් ගමන් කිරීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගයේ සිල්පර අතර හිස්තැන් පිරීයන පරිදි කොන්ක්‍රීට් ගල් කියුබ් 800 ක් අතුරා අවසන් කොට ඇත.දුම්රිය මාර්ගයේ සමහර ස්ථානවල හා වංගු සහිත ස්ථානවල ගැවසෙන වන අලින් දුම්රිය රියදුරන්ට නොපෙනෙන බැවින් එම ස්ථානවල මීටර් 10 සිට 20 දක්වා යටි පඳුරු ඉවත් කිරීමට කටයුතු කරන අතර මේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කි.මී. 20 ක් සුද්ද පවිත්‍ර කොට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය මාර්ග භාරව කටයුතු කරන ඉංජිනේරුවරුන් හා දුම්රියේ රියදුරු සහායක නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 2025.05.16 හා 17 යන දිනයන්හි සිදු කෙරිණි.හබරණ දුම්රිය ස්ථානය පසුකර කන්තලේ දෙසට ගමන් කිරීමේදී හමුවන වනසංරක්ෂණ රක්ෂිතය තුළ දුම්රිය මාර්ගයෙන් සැලකිය යුතු දුරින් ඔබ්බට ජලය සපයා ගැනීමට හැකියාවක් ඇති වැව් දෙකක් ඉදි කිරීම හා සුපෝෂණ කටයුතු සඳහා රු. මිලියන 25.4 ක ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. ගල්ඔය හා මින්නේරිය අතර 141 ස්ථානයේ කාසිකොටේ දුම්රිය මාර්ගය හරහා අලි ගමන් කරන ස්ථානය නිරීක්ෂණය සඳහා CCTV Camera සවි කර ඇති අතර එය, අනුරාධපුර මෙහෙයුම් මැදිරිය මඟින් නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර වන අලි හඳුනා ගැනීම සඳහා Thermal Detector Camera දුම්රිය මත සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරෙයි. දුම්රියේ ගැටීමෙන් 2020 වර්ෂයේ සිට 2026.10.12 දක්වා කාලය තුළ අලි ඇතුන් 81 දෙනෙකු මියගොස් ඇති බව සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks