පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-05-16
සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (මැයි 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණ අනාවරණය විය.
ශ්‍රී ලංකාව තුළ වෑද්දුම් ශිල්පය (Welding) සහ තාක්ෂණ ක්ෂේත්රයේ නිපුණත්වයන් සහිත වෘත්තිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. කොරියාව ඇතුළු කාර්මික රටවල මෙම ක්ෂේත්රයේ ප්‍රවීණයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්රයේ විධිමත් සහතිකයන් සමග පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ පෙන්වා දුන්හ.
දැනටමත් මෙම අංශයේ වෘත්තීය පළපුරුද්ද ඇති සහ එම ක්ෂේත්රයට අලුතින් ඇතුළත් වන අය සඳහා පුහුණු සහ සහතික කිරීමේ ක්‍රමය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ සිදු කරන බව නිලධාරීහු සඳහන් කළහ. එහෙත්, මෙම පුහුණුව පිළිබඳව ජනතාව අතර නිසි දැනුවත් වීමක් නොමැති බැවින් ඒ සඳහා සැලැස්මක් සකස් කර වැඩි වශයෙන් නවකයින් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.
සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡා විය. ජීවානුහරණය සඳහා පහසුකම් ලබාදීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගත හැකි බව කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය. ඒ අනුව, මෙම ජීවානුහරණය පහසුකම සකස් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට උපදෙස් දුන්නේය.
මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු යදාමිනි ගුණවර්ධන, ගරු ඉසුරු දොඩංගොඩ, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු එම්. උදයකුමාර්, ගරු කුමාරසිරි රත්නායක සහ ගරු අකිල එල්ලාවල යන මහත්වරුන් සහභාගී වූහ.
2026-11-26
ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ අවධානය යොමු වී තිබේ.කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ආයතන අතර පවතින සම්බන්ධීකරණ ගැටලු සහ සන්නිවේදන බාධා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම ඒ සඳහා රටේ පවතින නීතිමය හා ආයතනික ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුව එහි සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා (නොවැ. 23) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිනිය විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන්ගේ පෙර අපරාධ වාර්තා පිළිබඳව මෙරට අදාළ ආයතන දැනුවත් නොවීම හේතුවෙන් ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජගත වීමට ඉඩ ඇති බව පෙන්වා දුන්නාය. එමඟින් ඔවුන් නැවතත් ලිංගික අපරාධවල නිරත වීමේ අවදානමක් පවතින බැවින්, විදේශීය අධිකරණ මඟින් ලබා දෙන එවැනි නඩු තීන්දු මෙරට තුළ පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.ඒ අනුව, විදේශ රටවලදී ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සකස් කිරීම, එවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු පොලිස් අපරාධ වාර්තා පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම, ළමයින් සමඟ කටයුතු කරන ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී අනිවාර්ය පසුබිම් පරීක්ෂාවක් සිදු කිරීම සහ නැවත අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවදානම මත පදනම් වූ නීත්‍යනුකූල අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ සඳහා අවශ්‍ය නීති සංශෝධන හෝ නව නීති හෝ හඳුන්වාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය විය.මීට අමතරව, මෙරට පරිවාස භාරයේ පසුවන දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව, පරිවාස භාරයේ පසුවන චූදිත දරුවන් සහ වින්දිත දරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සෑම මාස හයකට වරක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සහ චර්යාත්මක වාර්තාවක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා විය.එමෙන්ම, පළාත් සභා යටතේ පාලනය වන පරිවාස ආයතන මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ හැකියාව සහ එම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේදී පරිවාස සේවයේ පළපුරුදු නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.තවද, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ 1999 අංක 37 දරන නඩත්තු පනත ඇතුළු කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පනත් කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එසේම, දරුවන් සහ කාන්තාවන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ තීන්දු ලබා දීමේදී ඇති වන ප්‍රමාදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද කාරක සභාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ගරු සාමාජිකා ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ ගරු සාමාජිකාවන් වන සමන්මලී ගුණසිංහ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ අනුෂ්කා තිලකරත්න සහ නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ යන මහත්මීහු සහභාගී වූහ.එසේම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2026-11-26
2026 ආසියානු කාන්තා පාර්ලිමේන්තු සංසදයේ (Asian Women Parliamentary Caucus) වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සම සභාපතිනිය වන නීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය සහභාගී වූවාය.මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති මෙම රැස්වීමේදී ඉන්දියාව, පාකිස්තානය, ජපානය, නේපාලය, මාලදිවයින, තායිවානය, පිලිපීනය සහ මැලේසියාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ දේශපාලනය තුළ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම නිල සංචාරය අතරතුර මැලේසියානු පාර්ලිමේන්තුව නැරඹීමට ද අවස්ථාව සැලසුණු අතර, එහිදී පැවති විශේෂ මාර්ගෝපදේශක චාරිකාව තුළින් එරට පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලීන් සහ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. එමෙන්ම මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා හමුවීමට ද අවස්ථාව උදා විය.තවද, මැලේසියාවේ ජර්මානු තානාපතිනියගේ නිල නිවස වෙත ගොස් ඇය හමුවීම ද මෙම සංචාරයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූ අතර, එය ජාත්‍යන්තර මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබුණු අවස්ථාවක් විය.මෙම සංචාරය තුළින් කලාපීය කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත්, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් වැදගත් අවස්ථාවක් සැලසිණි.
2026-11-26
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම, ගුරු ස්ථාන මාරුවීම්, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, පාසල් දිවා ආහාර වැඩසටහන සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ එම කාරක සභාව ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී එකම පාසලක වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ගුරු මාරු මණ්ඩලය විසින් තීරණය කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව, හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු කරන බැවින් එම සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට කාරක සභාව විසින් තීරණය කරන ලදි.එමෙන්ම, ඇතැම් ජාතික පාසල්වල වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැතිවීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. ඒ අනුව, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය විය.ගුරු සේවා කාලය සම්බන්ධ තොරතුරු ඇතැම් පාසල්වලින් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සහ ගුරු දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, අදාළ තොරතුරු වසන් කරන බවට සැක කෙරෙන පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත්, ගුරු දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කර සේවා කාලය නිවැරදිව ගණනය කිරීමටත් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා විය.උතුරු පළාතේ ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය වෙනුවට 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු විය. පාසල්වල අඩක් නිමකර අතහැර දමා ඇති ගොඩනැගිලි සහ වැඩ අවසන් කර තිබියදීත් පාසල් වෙත භාර නොදුන් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් අවසන් කර භාර නොදීම හේතුවෙන් එහි ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කිරීමට තීරණය විය.දිස්ත්‍රික් මට්ටමින් පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා වූ අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල අඩුපාඩු සපුරාලීම සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති 21 න් ව්‍යාපෘති 12 ක් සඳහා ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබාදීමට ද තීරණය කර ඇත.පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් සකස් කර තිබුණද එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභා සහ අදාළ අමාත්‍යාංශ අතර පවතින වගකීම් බෙදීයාම හේතුවෙන් මතුවන පරිපාලන හා අධීක්ෂණ ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.පාසල් සිසුන් සඳහා ලබාදෙන නොමිලේ දිවා ආහාර වැඩසටහනේදී නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකිරීම සහ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුවන ගැටලු ද මෙහිදී අවධානයට ලක් විය.මේ අතර, පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌන උපයෝජනය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විද්වත් කමිටු වාර්තාව” නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙෙනවිය විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධයෙන් අනුකාරක සභාව විසින් ලබාදුන් උපදෙස් අනුව සකස් කරන ලද මෙම වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයට යොමු විය.කාරක සභා රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ පාර්ශ්වයන් ද සහභාගී වූහ.
2026-11-25
දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මුදල් වර්ෂය ආරම්භයේ සිටම අමාත්‍යාංශ හා ආයතන තමන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මාසිකව සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 23) රැස්වූ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.වසර අවසානයේ භාවිත නොකළ මුදල්, ඊළඟ වසරට ගෙන යා හැක්කේ ණයවර ලිපි (LC) විවෘත කර ඇති ව්‍යාපෘති වැනි නිශ්චිත කොන්දේසි සපුරා ඇති අවස්ථාවලදී පමණක් බවත්, එසේ නොවන අවස්ථාවලදී අදාළ ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට නැවත යොමුවීම හේතුවෙන් ඊළඟ වසරේ අයවැයෙන් නැවත ප්‍රතිපාදන ලබා ගැනීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා පොත පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය සහ මහ කන්නයේ වී අස්වැන්න කළමනාකරණය කිරීම පිළිබඳව ද මෙන්ම ගබඩාවල ඉතිරිව ඇති වී තොග ඊළඟ මහ කන්නයේ අස්වැන්න ලැබීමට පෙර කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව විසින් පෙන්වා දෙන ලදී. වී තොග සහල් බවට පත්කර සුබසාධන වැඩසටහන් සඳහා යොදා ගැනීම හෝ සත්ව ආහාර ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා යොමු කිරීමේ විකල්ප පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.තවද, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බදු සහන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වර්තමානයේ ආයෝජකයෙකුට ඉඩමක් ලබා ගැනීම සඳහා මාස 18 ක පමණ කාලයක් ගතවීම ආයෝජන සඳහා බාධාවක් වී ඇති බැවින්, රජයේ ඉඩම් හඳුනාගෙන ඒවා ආයෝජන මණ්ඩලය හෝ විශේෂ ඉඩම් බැංකුවක් යටතට හෝ පවරාගෙන, ආයෝජන ප්‍රමාණය, රැකියා අවස්ථා සහ ජාතික ආර්ථිකයට සිදු වන බලපෑම පදනම් කරගනිමින් කඩිනමින් ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව ක්‍රිප්ටෝකරන්සි නියාමනය, රක්ෂණ හා ගනුදෙනු ක්ෂේත්රයේ ඩිජිටල්කරණය, සමුපකාර සංගම්වල VAT බදු ගැටලු සම්බන්ධ කරුණු ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීමට ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත හා ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

