logo

E   |     |  

2023-04-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රම වෙළදපොළට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව උසස් අධ්‍යාපනයට අදාළ විශේෂ කාරක සභාවේදී සාකච්ඡා

ශ්‍රම වෙළඳපොලට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

එහිදී මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ. උසස් පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනය හැර යන සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම සදහා නිසි ක්‍රමවේදයන් සකස් කළ යුතු බව කමිටුවේ සභාපති ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

උසස් අධ්‍යාපනය සඳහා මෙරට සිසුන් විදේශගත වීමෙන් මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවත්, එය වළක්වා ගැනීමට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බවත් මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මෙහිදී පෙන්වා දුන්හ. එසේම මෙමගින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමට හැකි බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අවස්ථාව පවතින බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.     

මෙරට හෙද වෘත්තිකයන් සදහා විදෙස් රටවල විශාල ඉල්ලුමක් පවතින බවත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙරට හෙද හෙදියන් වැඩි වශයෙන් විදෙස් රටවලට යැවීමට ඇති හැකියාව පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. හෙද හෙදියන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිසි අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමේ මූලික ව්‍යුහය ස්ථාපිත කළ යුතු බව ද මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ. මේ සදහා හෙද වෘත්තිකයන්ට පුහුණුවේදීම ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමේ අවශ්‍යතාවයද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රවුෆ් හකීම්, ගරු ඉරාන් වික්‍රමරත්න සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහුද අමාත්‍ය ගරු මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න, ගරු වීරසුමන වීරසිංහ, ගරු ගාමිණී වලේබොඩ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks