පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-03-14
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි නොවිණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (මාර්තු 10) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමේ අරමුණ කුමක්දැයි කමිටුවට පැමිණ සිටි නීති විද්‍යාල විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතාගෙන් මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ.
දැනටමත් නීති ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙක් සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කරන බවත් ඔවුන් කැමති භාෂාවකින් විභාගවලට පෙනී සිටීමේ නිදහස යටතේ නීති විද්‍යාල විභාගවලට පෙනී සිට ඇති බවත් මෙහිදී මන්ත්‍රීවරයන් කරුණු දැක්වූහ. එබැවින් තම මව් භාෂාවෙන් විභාගවලට මුහුණ දී සමත්වීම සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කිරීමට බාධාවක් නොවන බවත් මන්ත්‍රීවරයන් මෙහිදී පැවසූහ.
තවද, ප්‍රාථමික අධිකරණවල කටයුතුවලදී ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ප්‍රධාන භාෂාව භාවිත කරන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බවත් උතුරු නැගෙනහිර පළාත්වල සහ දෙමළ සහ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ප්‍රදේශවල අධිකරණ කටයුතු දෙමළ භාෂාවෙන් ද, සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන් ද සිදුවන බව පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අඩුවක් පවතින බවත් ඉංග්‍රීසි භාෂාවෙන් විභාග අනිවාර්ය කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රීවරයන් මෙහිදී වැඩිදුරටත් පැවසූහ. මේ අනුව, ශිෂ්‍යයෙකුට තම මූලික භාෂාව වන තම මව් භාෂාවෙන් විභාගයට මුහුණ දීමේ නිදහස අවශ්‍ය බව කමිටුවේ අදහස විය.
මෙම තත්ත්වය තුළ ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමට නීති අධ්‍යයන සභාව විසින් ගනු ලැබූ තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමි නොවිණි.
නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගරු රවුෆ් හකීම්, ගරු ඩිලාන් පෙරේරා, ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු වීරසුමන වීරසිංහ, ගරු බුද්ධික පතිරණ, ගරු උද්දික ප්‍රේමරත්න, ගරු සාගර කාරියවසම්, ගරු උදය ගම්මන්පිල, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු උදයන කිරිඳිගොඩ, ගරු ලලිත් එල්ලාවල, ගරු ගාමිණී වලේබොඩ, ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ගරු මධුර විතානගේ, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු (මහාචාර්ය) චරිත හේරත්, ගරු ඉෂාක් රහුමාන්, ගරු එච්. එම්. එම්. හාරීස්,ගරු එම්.එස්. තවුෆීක් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.
2026-07-23
2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර තිබේ. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.
2026-07-22
විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය වෙනුවෙන් සකස් කර ඇති යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) කෙටුම්පත පාර්ලිමේන්තු සංවර්ධන හවුල්කාර ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණි.ඒ එම සංසදය එහි සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.සංසදය විසින් මෑතකදී සංවිධානය කරන ලද වැඩමුළුවකදී යොමුකිරීමේ අනුදේශය සකස් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගෙන තිබූ අතර, එම යෝජනා පදනම් කර ගනිමින් මෙම අවසන් කෙටුම්පත සකස් කර ඇත. එසේම, යොමුකිරීමේ අනුදේශය සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර, සංසදය නියෝජනය කරමින් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ විය.
2026-07-22
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.එසේම, වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.මෙම අනුකාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්විය.
2026-07-22
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු විය.ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළේය.තවද, මෙම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි දේපළ කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව නිර්දේශ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතීඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, සුනිල් රාජපක්ෂ, තිලිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, රුවන් මාපලගම, ජගත් මනුවර්ණ සහ දිනේෂ් හේමන්ත, එම්.කේ.එම්. අස්ලම්, සුදත් බලගල්ල යන මහත්වරු සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



