බලන්න

E   |   த   |  

2023-03-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව දශකයකට පසු ‘කෝප්’ කමිටුව හමුවට - ආයතනයේ කළමනාකාරීත්වය සහ ව්‍යුහාත්මක අක්‍රමිකතා සම්බන්ධයෙන් ‘කෝප්’ කමිටුව සිය අප්‍රසාදය පළ කරයි

  1. ආයතනික තොරතුරු අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වහාම පරීක්ෂණ පවත්වන ලෙස කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට උපදෙස් දෙයි.
  2. මුදල් අමාත්‍යාංශයට අනුබද්ධ අභ්‍යන්තර විගණකවරයාගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර සති 3ක් ඇතුළත මෙම ආයතනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිර්දේශ.
  3. ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වා අප්‍රේල් 18 වැනිදාට පෙර කමිටුවට වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස්.
  4. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සිය ආයතනික සැලැස්ම හැකි ඉක්මනින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස්.
  5. දැනට සංස්ථාවේ පුරප්පාඩු ව පවතින අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන තනතුරු 5 වහාම ක්‍රියාත්මක වන පරිදි පිරවීමට කෝප් කමිටුව උපදෙස් දෙයි.

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ කළමනාකාරිත්වය සහ ව්‍යුහාත්මක අක්‍රමිකතා පිළිබඳව සිය සම්පූර්ණ අප්‍රසාදය පළ කරන බව කෝප් කමිටු සභාපති ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේබව සඳහන් කළේ ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් ක්‍රියාකාරීත්වය විමර්ශනය කිරීම සඳහා  පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) පසුගියදා (මාර්තු 07) රැස්වූ අවස්ථාවේදීය.

ජාත්‍යන්තර වෙළඳාම සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මෙන්ම අපනයනකරුවන්, බැංකු, ආනයනකරුවන් සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට සහය දැක්වීම සහ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙන්නේ දශකයකට පසුව බව කමිටු සභාපතිවරයා මෙහිදි අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අපොහොසත් වීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අවධානය යොමු කළ අතර වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස විගණකාධිපතිවරයාගේ කටයුතු වලට ලබාදෙන සහයෝගය අඩුවීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය.

වසර 10ක කාලයක් තිස්සේ ආයතනික සැලැස්මක් සකස් නොකිරීමට හේතු විමසූ කමිටුව ආයතනික සැලැස්මක් නොමැතිව මෙම ආයතනයේ පරිපාලන ක්‍රියාවලිය සිදු කර ඇත්තේ කුමන පදනමක් මතදැයි ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කළේය. ඒ අනුව හැකි ඉක්මනින් ආයතනික සැලැස්මක් සකසා කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඊට අමතරව, මූල්‍ය කටයුතු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන තනතුර 05ක් පුරප්පාඩු වී ඇත්තේ මන්දැයි ද කෝප් කමිටුව මෙහිදී විමසා සිටියේය. ආයතනය මෙහෙයවීමේදී සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ සිය අප්‍රසාදය පළ කළ කමිටුව අදාළ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම සහ අක්‍රියතාව නිසා පනතට අනුව ආයතනයේ නියමිත අරමුණු කරා ළඟා වීමට අපොහොසත් වී ඇති බවද කෝප් කමිටුව අවධාරණය කළේය. එබැවින් ආයතනික ස්ථාවරත්වය සහ නිසි ආයතනික යාන්ත්‍රණය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පුරප්පාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි පිරවීමට කටයුතු කරන ලෙස කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පාර්ලිමේන්තුවට, විගණකාධිපතිවරයාට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට වගකීමෙන් සහ වගවීමෙන් වැළකී සිටීම පිළිබඳව ද මෙහිදී අප්‍රසාදය පළ විය.

එමෙන්ම, රජයේ වැදගත් තොරතුරු සහ ලේඛන අස්ථානගත වී ඇත්තේ කෙසේද සහ එවැනි ක්‍රියාවලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ද කෝප් කමිටුව විමසා සිටියේය.

ඒ අනුව කෝප් කමිටුවේ සභාපති, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ සිදුවෙමින් පවතින අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමේදී මුදල් අමාත්‍යාංශයේ උදාසීන ස්වභාවය පිළිබඳව කනස්සල්ල පළ කළේය. ආයතනයේ ආයතනික තොරතුරු අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කළ ඔහු එම කරුණ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සංස්ථාවේ සභාපතිවරයාට නිර්දේශ කළේය.

තවද, මුදල් අමාත්‍යාංශයට අනුබද්ධ අභ්‍යන්තර විගණකවරයාගෙන් සැදුම්ලත් ස්වාධීන කමිටුවක් පත්කර සංස්ථාවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තාවක් සති 3ක් ඇතුළත ලබාදෙන ලෙසද ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වා අප්‍රේල් 18 වැනිදාට පෙර කෝප් කමිටුවට වාර්තා කරන ලෙස ද මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

ගරු රාජ්‍ය අමාත්‍යවරයන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු එරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලාන්සා, ගරු එස්.එම්. එම්. මුෂාරෆ්, රෝහිණී කුමාරි විජේරත්න, ගරු චමින්ද විජේසිරි, ගරු සංජීව එදිරිමාන්න. ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු ශානකියන් රසමානික්කම්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

 

1 2

3 4

5



සම්බන්ධිත පුවත්

2026-11-16

අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2026-11-14

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් - යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ අවධානය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-14

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks