පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.01.25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා නොවැලැක්විය හැකි හේතුවක් මත අද දින රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබිණි.
එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර යන මහත්ම මහත්මීහුද මීට එක්ව සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නෛතික ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී ඇති බලතල මෙන්ම සභාවේ ඉදිරි කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනගතව දක්වා ඇති පරිදි කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර එම කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස පත්කිරීම සදහා ඊට උනන්දුවක් දක්වන සහ සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයදුම්පත් කැඳවීමට එකඟ විය.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සදහා සාමාජිකයන් ලෙස පත්කිරීමට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කෙරෙනු ඇත. එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දැන්වීම පළ කළ දින සිට සති දෙකක (02) කාලයක් ලබා දෙනු ලැබේ. තවද අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර පුවත්පත් දැන්වීම හරහා දැනුම් දෙනු ලැබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රාජකාරි සහ කාර්යයන් ස්වාධීනව, වගවීමකින් සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීමට ද ඒකමතිකව එකඟත්වය මෙහිදී පළ විය.
2026-10-13
වකුගඩු රෝගීන් 53,604 දෙනෙකුට රු.10,000 බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා මේ වසරේ අගෝස්තු මාසය වන විට හඳුනාගෙන තිබු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක් නොමැති බවත්, ඉල්ලුම් කරන වකුගඩු රෝගීන්ට සුදුසුකම් අනුව මාසික දීමනාව ගෙවන බව ද ඒ මහතා කියා සිටියේය.
2026-10-13
දැනට දිවයින පුරා පෞද්ගලික බස්රථ 19,646ක් ධාවනය වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට 2026 ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ඒ අනුව, අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නියාමනය කෙරෙන අතර, පළාත් තුළ ධාවනය වන බස්රථ අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් නවය මගින් නියාමනය කරනු ලබන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, ප්‍රසිද්ධ බස් නැවතුම්පොළවලදී පෞද්ගලික බස්රථවලින් නීති විරෝධී ලෙස මුදල් අය කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුට නීතිමය බලයක් හෝ අවසරයක් නොමැති බවද සඳහන් කල නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි මුදල් අය කිරීම් වැළැක්වීම සඳහා බස්රථ සේවකයන් දැනුවත් කර ඇති අතර, අදාළ සිදුවීම් වාර්තා වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබ බවද පැවසුවේය.
2026-10-13
2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ජනගහනය 3,921,124ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් 18.002%ක් වන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා යොමු කළ ප්‍රශ්නයකට 2026 ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.මෙම වැඩිහිටි ජනගහනයෙන් 1,712,535ක් පුරුෂයන් වන අතර, 2,208,589ක් ස්ත්‍රීන් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව වැඩිහිටි ජනගහනයෙන් 43.67%ක් පුරුෂයන් වන අතර 56.33%ක් ස්ත්‍රීන් වේ.2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ 2002 වර්ෂයේ ජූනි මාසයේදී ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ ජාතික සභාව පිහිටුවා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීම සහ අවශ්‍ය සේවා සැපයීම සඳහා මෙම ආයතන කටයුතු කරන බවත්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන සඳහා සහාය ලබා දීම සහ වැඩිහිටි කමිටු සවිබලගැන්වීම ඒ අතර ප්‍රධාන වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.2025 වර්ෂයේදී වැඩිහිටි හැඳුනුම්පත් 44,899ක් නිකුත් කර ඇති අතර, 2026 වර්ෂය තුළ හැඳුනුම්පත් 45,000ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, 2026 වර්ෂයේදී වැඩිහිටි නිවාස 25ක අලුත්වැඩියා කටයුතු සහ උපකරණ සැපයීම වෙනුවෙන් ප්‍රතිලාභීන් 500කට සහාය ලබා දීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026-10-12
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් යන මහත්වරු ඔක්තෝබර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ටැන්සානියාවේ අරුෂා නුවර පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 153 වන සමුළුවට සහභාගී වූහ. ඔවුහු සමුළුවේ ප්‍රධාන සැසිවාර, ස්ථාවර කාරක සභා කටයුතු සහ අනෙකුත් සාකච්ඡා සඳහා සක්‍රීයව දායක වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සහ අභියෝග හමුවේ කටයුතු කිරීමේ හැකියාව සහිත මහජන සෞඛ්‍ය පද්ධති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිශීලී ඉදිරි ගමන එහිදී අවධාරණය කෙරිණි.“යහපාලනය ශක්තිමත් කිරීම සහ සියලු දෙනා සඳහා සහභාගිත්වය, විශ්වාසය හා අවස්ථා ලබා දීම තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවති ප්‍රධාන සැසිය අමතමින් ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, මහජන විශ්වාසය සහ සියලු පාර්ශ්වයන් සඳහා අවස්ථා ලබා දීම තිරසාර ප්‍රජාතන්ත්‍රවාදයක මූලික පදනම වන බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව තුළ අත්කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ගරු කථානායකවරයා, වත්මන් දසවන පාර්ලිමේන්තුව ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, මලයගම් ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද ඇතුළුව සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් 9.8%ක් නියෝජනය කරමින් මන්ත්‍රීවරියන් විසි දෙදෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් සඳහන් කළේය. තවද, ප්‍රථම වරට ආබාධ සහිත මන්ත්‍රීවරයෙකු දස වන පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් පිරිනමනු ලබන ‘2026 ගෞරවනීය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී’ සම්මානයෙන් ද ඔහු පසුගියදා පිදුම් ලැබූ බවත් ගරු කථානායකවරයා සිහිපත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වැනි විශේෂිත අධීක්ෂණ කාරක සභා ද ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ සාධාරණත්වය, විනිවිදභාවය සහ මහජන වගවීම තහවුරු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන ආකාරය පිළිබඳව ද කථානායකවරයා පැහැදිලි කළේය.එමෙන්ම, පාර්ලිමේන්තු විවාද, සංඥා භාෂා පරිවර්තනය සහිතව විකාශය කිරීම සහ කාරක සභා කටයුතු මාධ්‍යයට හා සිවිල් සමාජයට විවෘත කිරීම ඇතුළු මෑතකදී ක්‍රියාත්මක කළ විවෘත පාර්ලිමේන්තු වැඩසටහන් පිළිබඳව ද ඔහු අවධාරණය කළේය. මෙම පියවර මඟින් පුරවැසියන් සහ මහජන නියෝජිතයන් අතර පවතින පරතරය සාර්ථකව අවම කිරීමට හැකි වී තිබේ.තවද, “කැපවීමෙන් ප්‍රතිඵල කරා: 2030 වන විට ප්‍රජනක, මාතෘ, අලුත උපන් බිළිඳුන්, ළමා හා නව යොවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (RMNCAH) ප්‍රගමනයට අදාළව අප්‍රිකානු පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග” යන මැයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අප්‍රිකානු භූදේශපාලනික කණ්ඩායම විසින් සංවිධානය කරන ලද අතුරු සැසියකදී මෙරට දූත පිරිසට විශේෂ ඇගයීමක් හිමි විය. ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා සතු වෘත්තීය වෛද්‍ය පසුබිම ඇගයීමට ලක් කරමින් මෙම පිළිගැනීම සිදු කෙරිණි. මාතෘ හා අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යය නඟාසිටුවීම, සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීම සහ අවදානමට ලක් විය හැකි ජන කණ්ඩායම්වල යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ වෛද්‍ය විශේෂඥ දැනුම සහ පාර්ලිමේන්තු නායකත්වය සතු වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණි.සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා දූත පිරිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට සහභාගී වූහ. එහිදී සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන බහුආංශික සහභාගිත්වය පිළිබඳ ප්‍රධානී ලූඩි සූර්යන්ටොරෝ මහතා (Ludy Suryantoro) සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. ජාතික සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සූදානම පිළිබඳ සමාලෝචනය (Universal Health Preparedness Review) ඉදිරියට ගෙන යාම එම සාකච්ඡාවල ප්‍රධාන අවධානයට ලක් විය.සූදානම් වීමේ ක්‍රියාවලියට අදාළ ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය බලය සැපයීම, අයවැය ක්‍රියාවලිය හරහා අරමුදල් අනුමත කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම, දැඩි අධීක්ෂණය හා වගවීම සහතික කිරීම, බහුආංශික පාලනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම අවදානමට ලක් විය හැකි ජන කණ්ඩායම් සඳහා සමානාත්මතාව සහ මානව හිමිකම් තහවුරු කිරීම යන ක්ෂේත්‍රවලදී පාර්ලිමේන්තුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා දූත පිරිස එහිදී අවධාරණය කළහ.පැවති සැසිවාරවලදී, සියලු පාර්ශ්වවලට අවස්ථාව හිමි වන සමාජ සංවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු උපායමාර්ග, හමුදාමය කෘත්‍රිම බුද්ධිය භාවිත වන යුගයක සාමය සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුවල කාර්යභාරය, පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ මැදිහත්වීම තුළින් සාමකාමී අනාගතයක් ගොඩනැඟීම, ගැටුම්කාරී තත්ත්වයන්හිදී සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ගැටුම් වැළැක්වීමේ යාන්ත්‍රණයන් සමාලෝචනය කිරීම සඳහා වන යෝජනා සලකා බැලීම ඇතුළු තීරණාත්මක ගෝලීය අභියෝග රැසක් සාකච්ඡාවට බඳුන් විය.මීට අමතරව, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වැඩ කටයුතු රාමුව භාවිත කරමින් ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිචාර ශක්තිමත් කිරීම, ස්වභාවික සම්පත් නිස්සාරණ කර්මාන්ත අධීක්ෂණය, පරම්පරා අතර ඩිජිටල් තොරතුරු අධිභාරය සහ මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීම, ළමා අයිතිවාසිකම් සුරකින සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය කිරීම, වෙනස් වන දේශගුණික තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බලාත්මක කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳව ද වැඩමුළු පැවැත්විණි.153 වන අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිස සහභාගී වීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, සියලු පාර්ශ්වයන් සඳහා අවස්ථා තහවුරු කිරීම, මහජන වගවීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවාදය හා සහයෝගීතාව සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සක්‍රීයව එක්ව සිටින බව යළිත් තහවුරු විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

