logo

02

E   |     |  

2023-01-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු භේදයකින් තොරව උපරිම සහය ලබාදීමට රජයේ මුදල් කාරක සභාව කටයුතු කරනවා - කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (ජන. 23) අවධාරණය කළේය.

මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය.  සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහබැංකුවේ නිළධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළඳපල හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව ද කාරක සභාව විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බවත්, වෙළඳපොළ පුළුල් වීම සදහා  නැවතත් අවස්ථාව හිමිවනු  ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහා පවතින විකල්ප අවස්ථා පිළිබද කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සදහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමඟ ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල් වීමට අකමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමඟ හවුල් වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇතිවන බවද ඔවුහු පෙන්වා දුන්හ. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය  මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව මහ බැංකු නිලධාරීහු පෙන්වා දුන්හ.

රාජ්‍ය අමාත්‍ය ගරු සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර ප්‍රියදර්ශන යාපා, රවුෆ් හකීම්, ගරු චන්දිම වීරක්කොඩි, ගරු හර්ෂණ රාජකරුණා, ගරු විජිත හේරත්, ගරු මයන්ත දිසානායක සහ ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

 



සම්බන්ධිත පුවත්

2026-07-13

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි.කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 09) මෙම පැවති සංසද රැස්වීමේදී,පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එහිදී පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ නාමයෝජනා ලැයිස්තුවල මෙන්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතර ද අවම වශයෙන් 33%ක කාන්තා නියෝජනයක් තහවුරු වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව සංසදයේ අවධානය යොමු විය. මෙම යෝජනා ඉදිරියට ගෙනයාම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.එමෙන්ම, කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා නාමයෝජනා ලැයිස්තු මට්ටමින් හෝ අනිවාර්ය ආසන වෙන් කිරීම මඟින් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමවේදයක් යටතේ සුදුසු නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ විකල්ප පිළිබඳව ද සංසදයේ සාමාජිකාවන්ගේ අවධානය යොමු විය.මීට අමතරව, දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේදී පවතින සමාජීය ආකල්ප, මැතිවරණ වියදම් සහ දේශපාලන පක්ෂවල සහයෝගය වැනි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර, කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණි කුමාරි විජේරත්න, නීතිඥ සාගරිකා අතාවුද, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ තුෂාරි ජයසිංහ,  නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ හසාරා ලියනගේ, දීප්ති වාසලගේ, අම්බිකා සාමිවේල්, නීතිඥ ගීතා හේරත් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු සහභාගි වූහ.


2026-07-10

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී. වික්‍රමසිංහ මහතා  පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා  (ජූලි 08) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට, ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක  සහ ආචාර්ය උපාලි පන්නිලගේ මෙන්ම  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිහාල් අබේසිංහ, රිසාඩ් බදියුදීන්, කේ. කාදර් මස්තාන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්  සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු  සහභාගි වූහ.


2026-07-08

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 06) පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවේදී ඉහත තීරණය ගනු ලැබීය. ඒ අනුව, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 හා 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් කාරක සභාව විසින් සලකා බලන ලදී. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගිවී සිටියහ.ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන 2026 අයවැය යෝජනාව පරිදි මෙරටට ආනයනය කරන භාණ්ඩ මත ක්‍රියාත්මකව පැවතී පැවතී 0%, 15% සහ 20% වන රේගු ආනයන බදු අනුපාතයන් 0%, 10%, 20%  සහ 30% ලෙස කාණ්ඩ හතරක් වන පරිදි 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම  මේ අනුව සිදුවේ. මෙම සංශෝධන හුදෙක් බදු අනුපාත වෙනස් කිරීමක් නොව, ඉදිරි දශකය සඳහා රටේ වෙළෙඳ හා ආයෝජන පරිසරය හැඩගස්වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. විද්‍යාත්මක හා පුරෝකථනය කළ හැකි තීරුබදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම මඟින් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන් සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බව  නිලධාරීහු පැහැදිලි කළහ.මෙම ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජාතීන්ගේ පුළුල් ආර්ථික වර්ගීකරණය (BEC Revision 5) පදනම් කරගත් නව සිව්-වැදෑරුම් තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර, එමඟින් HS කේත රැසක් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතය. ප්‍රාග්ධන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ, සංවේදී අතරමැදි භාණ්ඩ සහ පාරිභෝජන භාණ්ඩ යන ප්‍රධාන කාණ්ඩ හතර යටතේ නව බදු ව්‍යුහය ක්‍රියාත්මක කෙරෙන අතර, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආදායම් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබාදීමේ අරමුණින් ටයිල් සඳහා දැනට පවතින 85-90%  ඉහළ ඵලදායී බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර 20% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය විය. එමඟින් ඉදිකිරීම් පිරිවැය අඩුවී නිවාස හා යටිතල පහසුකම් ආයෝජන සඳහා ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.දේශීය කර්මාන්තවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විවිධ ක්ෂේත්‍ර සඳහා නව ජාතික උප-බෙදුම් හඳුන්වාදීමට ද යෝජනා කර තිබේ.තවද, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර  සරල තීරු බදු ක්‍රමයක් කරා ගමන් කිරීම රජයේ ඉලක්කය බවද නිලධාරීහු පෙන්වා දුන්හ. බදු ලිහිල් කිරීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව ද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම බදු ප්‍රතිසංස්කරණ මඟින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 සිට බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය සපුරා ගැනීමට සහාය වනු ඇති බවද සඳහන් විය. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ, රබර් නිෂ්පාදන, ඖෂධ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම සඳහා මෙම ප්‍රතිපත්තිය වැදගත් පදනමක් වනු ඇතැයි ද ප්‍රකාශ විණි.එමෙන්ම, වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය පිළිබඳවද කාරක සභාව දැඩි අවධානය යොමු කළේය. වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සතු වෙළෙඳ දත්ත 2021 වසරෙන් පසු යාවත්කාලීන වී නොමැති බව සභාපතිවරයාගේ අවධානයට ලක් වූ අතර, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය සියලු වෙළෙඳ දත්ත සහ අදාළ තොරතුරු සතියක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස අදාළ නිලධාරීන්ට කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම ගැසට් නිවේදන අද (08) පාර්ලිමේන්තුවේ  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට ගැනීමට නියමිතය.ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.  


2026-07-08

වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය අරඹනවා - අමාත්‍ය බිමල් රත්නායක මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි

වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ බවත්  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව 177, 170 සහ 190 යන මාර්ග අංකයන්හි ධාවනය වන බස් රථවලට අදාළව,  නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා ලෙස පෙර පැවති කාණ්ඩ හතරෙන්  ‍ අර්ධ සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා කාණ්ඩ දෙක ඉවත්  කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  අර්ධ සුඛෝපභෝගී සේවා සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බවත් ඊට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දුර ගමන් සේවා සහ කෙටි දුර ගමන් සේවා සඳහා බස් ගාස්තු තීරණය කිරීමට එකම සූත්‍රයක් භාවිතා කිරීම සාධාරණ නොවන බැවින් දුර ගමන් සේවා සඳහා දැරීමට සිදුවන වැඩි පිරිවැය සැලකිල්ලට ගෙන දුර ගමන් බස් ගාස්තු තීරණය කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් හදුන්වා දෙන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. බස් කර්මාන්තය රැක ගැනීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය. ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය. තෙල් මිල අඩුවන ප්‍රමාණයට සාපේක්ෂව අනෙකුත් පිරිවැය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම ගැටලුවක් බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ. මාර්ග අනතුරු අවම කිරීම, පාපැදි සහ යතුරු පැදි සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, මාර්ග සංවර්ධන කටයුතු, මගී ජනතාවට ඉතිරි මුදල් නොලැබීම සම්බන්ධ පැමිණිලි ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පියවර ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදුවිය.  එසේම ප්‍රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවලට අදාළව ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.තවද, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී කාරක සභාවේ එකඟත්වය පළවිය. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ආසන පටි සවිකිරීමට ලබා දුන් සහන කාලය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ බැවින් එම සහන කාලය 2026.03.20 වැනි දිනයෙන් ආරම්භ වී 2026.06.19 වැනි දිනයෙන් අවසාන වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා මෙම නියෝග ප්‍රකාශයට පත්කර ඇත.නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks