logo

02

E   |     |  

2022-12-14

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද? නිල් මානෙල්ද? - පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

•    නිවැරදි ජාතික පුෂ්පය නිශ්චය කරගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර..

 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන මැයෙන් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුනු හා මත භේදයට තුඩු දී තිබු ගැටලුව පිළිබඳ දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරන ලදී.

මහාචාර්ය යකන්දාවල ඉදිරිපත් කළ පරිදි මෙරට ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 සිට ය. එනම් ජාතික පුෂ්පය නිල් මානෙල් බවට නිල වශයෙන් කැබිනට්‌ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. නමුත් එහි නිල් මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කොට ඇත්තේ දම් පැහැති මානෙල් මලක ඡායාරූපයක් වන අතර එය සැබෑ නිල් මානෙල් මල නොවන බව මහාචාර්යවරයා පැවසීය.

ඒ අනුව, 1986 දී සිදුවූ මෙම වරද මහාචාර්යවරයා ඇතුළු පිරිස විසින් 2010 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයාට, පරිසර අමාත්‍යවරයාට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරියට දැනුම්දී තිබේ. ඒ අනුව 2015 දී ජාතික පුෂ්පයේ නිවැරදි ඡායාරූපයක් ඇතුළත් කොට තිබේ. නමුත් 2015 දී පරිසර අමාත්‍යාංශය විසින් නිවැරදි මලෙහි ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරන අතරම ලංකාවේ ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් මල ලෙසත් ඉංග්‍රීසි නාමය 'බ්ලූ වෝටර් ලිලී' සහ දමිළ නාමය ලෙස 'නීලෝත්පලම්' වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදී පරිසර අමාත්‍යාංශය විසින් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස් වීමට හේතු වූයේ ඒ පිළිබඳ සිංහල භාෂා ප්‍රවීණයෙකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගෙන් විමසීමේදී එතුමන් විසින් දක්වන ලද මතය බවයි. එහිදී එතුමාගේ මතය අනුව මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට යෝජනා වී තිබේ.   

මෙහිදි මහාචාර්ය යකන්දාවල මහතා අවධාරණය කරන ලද්දේ ගෝලීයව පිළිගත් ශාක වර්ගීකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත් විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතා වූ පොදු නම් වෙනස් නොකළ යුතු බවයි.

මෙහිදි මහාචාර්ය දෙපළ දක්වා සිටියේ මානෙල් යනු පොදු නාමයක් වන අතර ශ්‍රී ලංකාව තුළ දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින නිසා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවැරදි විය යුතු බවයි.

1986 දී ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් සලකා බලන ලද නිර්ණායක වන ස්වදේශීය වීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, මෙන්ම අතිරේක නිර්ණායක වන වර්ණය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්යවරයා පැවසීය.

එහිදී, මහාචාර්ය දීප්ති යකන්දාවල සඳහන් කළේ මුද්දර කාර්යාංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති අතර එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක පිංතූරයක් බවයි. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේ ද වැරදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගන්වන්නේ වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, පොත්පත්වල පමණක්‌ නොව ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කොට අළෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා අවධාරණය කළේ මේ පිළිබඳ සලකා බලා නිර්දේශ ලබා දීමට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. උක්ත කරුණ පිළිබඳ කරුණු දැක්වූ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නේ මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා ගන්නා ලෙසයි.

මීට අමතරව පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කටයුතු පිළිබඳවද උපදේශක කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී, විවිධ ව්‍යාපෘති සඳහා පරිසර අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව මෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කාර්යාල නොමැති ප්‍රදේශවල අදාළ කාර්යාල ජංගම සේවාවන් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට මන්ත්‍රීවරයන් රැසක්ද සහභාගී වූ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

මහාචාර්ය යකන්දාවල මහතා විසින් එවන ලද 2015 කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කරන ලද නිල් මානෙල් මලෙහි ඡායාරූපයක් මේ සමග අමුණා ඇත.

 

blue-water-lilly 1

2 7

9 13



සම්බන්ධිත පුවත්

2026-07-23

ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි  සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර තිබේ. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.


2026-07-22

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ යොමුකිරීමේ අනුදේශ කෙටුම්පත සම්මත කෙරේ

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය වෙනුවෙන් සකස් කර ඇති යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) කෙටුම්පත  පාර්ලිමේන්තු සංවර්ධන හවුල්කාර ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණි.ඒ එම සංසදය එහි සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදීය.සංසදය විසින් මෑතකදී සංවිධානය කරන ලද වැඩමුළුවකදී යොමුකිරීමේ අනුදේශය සකස් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගෙන තිබූ අතර, එම යෝජනා පදනම් කර ගනිමින් මෙම අවසන්  කෙටුම්පත සකස් කර ඇත. එසේම, යොමුකිරීමේ අනුදේශය සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර, සංසදය නියෝජනය කරමින් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ විය. 


2026-07-22

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.එසේම, වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.මෙම අනුකාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්විය.


2026-07-22

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් CID සහ අල්ලස් කොමිසමට කරුණු යොමු කිරීමට "කෝප්" කමිටුවේ අවධානය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු විය.ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළේය.තවද, මෙම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි දේපළ කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව නිර්දේශ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතීඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, සුනිල් රාජපක්ෂ, තිලිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, රුවන් මාපලගම, ජගත් මනුවර්ණ සහ දිනේෂ් හේමන්ත, එම්.කේ.එම්. අස්ලම්, සුදත් බලගල්ල යන මහත්වරු සහභාගි වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks