පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-12-14
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
• නිවැරදි ජාතික පුෂ්පය නිශ්චය කරගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර..
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක් ද යන මැයෙන් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුනු හා මත භේදයට තුඩු දී තිබු ගැටලුව පිළිබඳ දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරන ලදී.
මහාචාර්ය යකන්දාවල ඉදිරිපත් කළ පරිදි මෙරට ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 සිට ය. එනම් ජාතික පුෂ්පය නිල් මානෙල් බවට නිල වශයෙන් කැබිනට් පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. නමුත් එහි නිල් මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කොට ඇත්තේ දම් පැහැති මානෙල් මලක ඡායාරූපයක් වන අතර එය සැබෑ නිල් මානෙල් මල නොවන බව මහාචාර්යවරයා පැවසීය.
ඒ අනුව, 1986 දී සිදුවූ මෙම වරද මහාචාර්යවරයා ඇතුළු පිරිස විසින් 2010 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයාට, පරිසර අමාත්‍යවරයාට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරියට දැනුම්දී තිබේ. ඒ අනුව 2015 දී ජාතික පුෂ්පයේ නිවැරදි ඡායාරූපයක් ඇතුළත් කොට තිබේ. නමුත් 2015 දී පරිසර අමාත්‍යාංශය විසින් නිවැරදි මලෙහි ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරන අතරම ලංකාවේ ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් මල ලෙසත් ඉංග්‍රීසි නාමය 'බ්ලූ වෝටර් ලිලී' සහ දමිළ නාමය ලෙස 'නීලෝත්පලම්' වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙහිදී පරිසර අමාත්‍යාංශය විසින් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස් වීමට හේතු වූයේ ඒ පිළිබඳ සිංහල භාෂා ප්‍රවීණයෙකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගෙන් විමසීමේදී එතුමන් විසින් දක්වන ලද මතය බවයි. එහිදී එතුමාගේ මතය අනුව මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට යෝජනා වී තිබේ.
මෙහිදි මහාචාර්ය යකන්දාවල මහතා අවධාරණය කරන ලද්දේ ගෝලීයව පිළිගත් ශාක වර්ගීකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත් විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතා වූ පොදු නම් වෙනස් නොකළ යුතු බවයි.
මෙහිදි මහාචාර්ය දෙපළ දක්වා සිටියේ මානෙල් යනු පොදු නාමයක් වන අතර ශ්‍රී ලංකාව තුළ දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින නිසා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවැරදි විය යුතු බවයි.
1986 දී ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් සලකා බලන ලද නිර්ණායක වන ස්වදේශීය වීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, මෙන්ම අතිරේක නිර්ණායක වන වර්ණය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්යවරයා පැවසීය.
එහිදී, මහාචාර්ය දීප්ති යකන්දාවල සඳහන් කළේ මුද්දර කාර්යාංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක් සහිත මුද්දරයක් නිකුත් කර ඇති අතර එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක පිංතූරයක් බවයි. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේ ද වැරදි මලක රූපයක් බවත් පාසල්වල පමණක් නොව ඇතැම් උසස් අධ්‍යාපන ආයතනවල ද උගන්වන්නේ වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම, පොත්පත්වල පමණක් නොව ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කොට අළෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.
මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා අවධාරණය කළේ මේ පිළිබඳ සලකා බලා නිර්දේශ ලබා දීමට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. උක්ත කරුණ පිළිබඳ කරුණු දැක්වූ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නේ මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා ගන්නා ලෙසයි.
මීට අමතරව පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කටයුතු පිළිබඳවද උපදේශක කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී, විවිධ ව්‍යාපෘති සඳහා පරිසර අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව මෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කාර්යාල නොමැති ප්‍රදේශවල අදාළ කාර්යාල ජංගම සේවාවන් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීමට මන්ත්‍රීවරයන් රැසක්ද සහභාගී වූ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
මහාචාර්ය යකන්දාවල මහතා විසින් එවන ලද 2015 කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කරන ලද නිල් මානෙල් මලෙහි ඡායාරූපයක් මේ සමග අමුණා ඇත.
2026-03-30
2026 ජනවාරි 06 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ 2024 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අදාළ කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු ද සලකා බැලේපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීම ද සිදු කරන ලදි.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින රැස්වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණි. නමුත් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදි. මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට ලබාදී තිබූ නිර්දේශය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කළේය.තවද අමාත්‍ය මණ්ඩල අනුමතියක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයනු ලබන ආදායමින් 25%ක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට ලබාදිය යුතු බව සඳහන් වුවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රතිපාදනයට වඩා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල අනුමතියකින් ලබාදුන් එම මුදල් ඉතිරි වූ බවත් මේ නිසා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා මුදල්වලින් ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරන බවත් ය.එසේම දෙපාර්තමේන්තුව සතු වාහන හිඟය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර මෙම වාහන හිඟය හේතුවෙන් ආයතනයේ කාර්යසාධනයට විශාල බලපෑමක් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ කාරක සභාව වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කරන බවයි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, හෙක්ටර් අප්පුහාමි, චානක මාදුගොඩ, චන්දන සූරියආරච්චි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.
2026-03-30
‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. මීට අදාළ නියෝග 2026 ජනවාරි 16 දිනැති 2471/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.මේ සඳහා අනුමතිය හිමි වූයේ එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
2026-03-30
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වන දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයවිදුලිබල නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන්, විදුලිය නිපදවීමට එය භාවිතා කිරීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය. මේවා නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.මේ අතර ඉවත් කරන ලද අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම අදාළ බලාගාරයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවත් මෙහිදී යෝජනා විය.ඊට අමතරව, නොරොච්චෝලේ බලාගාරයේ බලපෑමෙන් ජලය සහ වාතය දූෂණයට ලක් වී තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් කාරක සභාව විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හා අදාළ කරුණු සඳහා සති දෙකක් ඇතුළත වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ ප්‍රතිචාර දක්වන ලෙසද නිර්දේශ කරන ලදී.මෙම බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, බලාගාරය තුළ භාවිතා කරන පෙරහන් පද්ධතිය එම අංශු ඉවත් කිරීමට ප්‍රමාණවත් (අවශෝෂණය කිරීමට) බව නිරීක්ෂණය වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහන් කළහ. මෙහිදී එම බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ කරුණු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, රොෂාන් අක්මීමන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, උපුල් කිත්සිරි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-03-24
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට 2026.03.19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආ පදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින් අවශ්‍ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන් මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks





