E   |   த   |  

2022-11-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් බිලියන 773 ක් - ‘කෝපා’ කමිටුවේදී හෙලි වෙයි

•    රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට සකස් කළ RAMIS පද්ධතිය තවමත් නිසි ක්‍රියාකාරී මට්ටමක නැහැ...
•    2022 ජුනි 30 වන විට රුපියල් බිලියන 2.4 වටිනා අගරු වූ චෙක් පත් 4831 ක්...

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773)  කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ අතර මෙම මුදලෙන් රුපියල්  201,400,855,198 ක් (බිලියන 201) කිසිඳු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත්  රුපියල් 572,557,001,420 ක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණි.

එසේම RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බව ද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන ලද අතර මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම ලෙස පවතින රුපියල් බිලියන 201 මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් දැනටමත් කොටස් වශයෙන් අයකරගැනීමට කටයුතු කොට ඇති බවයි.

මෙහිදී මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මනිත්‍රී ගරු කබීර් හෂීම් මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි.

මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2021 මාර්තු 24 දින කෝපා කමිටුවට කැදවා ලබාදුන් නියෝග ක්‍රියාත්ම කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2023 අයවැයෙන් යෝජනා කොට ඇති බදු ආදායම ලඟාකරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් අද (නොවැ. 28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා පෙන්වා දුනනේ 2022 වර්ෂයේදී ඇස්තමේන්තු කළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1852ක් රජය අපේක්ෂා කොට ඇති බවත් එය 2023 මෙවර අය වැයේදී රුපියල් බිලියන 3130 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කොට ඇති බවත් ය. එබැවින් මේ වන විටත් හිඟ බදු විශාල ප්‍රමාණයක් තිබියදීත් 2023 අයවැයෙන් 69% වැඩිවීමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි යන්න විශාල ගැටලුවක් බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අපේක්ෂිත බදු ආදායම ලගාකරගැනීමට නොහැකි වුවහොත් විශාල අයවැය පරතරයක් ඇති වන බවත් රටක් ලෙස බලාපොරොත්තු වන සියලු ඉලක්ක සපුරාගැනීම අසාර්ථක වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී මෙම බදු මුදල් අයකරගැනීම සඳහා ඇති ප්‍රධාන සාධකයක් ලෙස ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) හඳුනාගෙන ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම RAMIS පද්ධතිය සකස්කිරීම සඳහා රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන් අතර  එසේ වුවද නිසි ක්‍රියාකාරීමට්ටමක එය නොපවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම මින් පෙරද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳ කෝපා කමිටුවේදී පෙන්වා දුන්නද ඒ සම්බන්ධයෙන් තවමත් විධිමත් පියවරක් ගෙන නොමැති බවද විගණකාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

තවද මේ සම්බන්ධයෙන් වන ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත්  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටුයුත්තක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අනුව මෙම RAMIS පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලු කාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීම පිළිබඳ දින වකවානු සහිතව මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළේය. එසේම එම වාර්තාව ප්‍රමාණවත් නොවන්නේ නම්  ගනු දෙනු පිළිබඳ විගණනයක් කිරීමට කටයුතු කරන බවද කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

එසේම 2022 ජුනි 30 වන විට රුපියල් 2,488,003,615 (බිලියන 2.4) වටිනා අගරු වූ චෙක් පත් 4831 පැවතීම පිළිබඳව ද මෙහිදී අනාවරණය විය. මෙම අගරු චෙක්පත් අතරින් රුපියල් 1,429,356,750 ක් වටිනා චෙක්පත් 3817 ක් වසර 3කට වඩා පැරණි ඒවා බවද මෙහිදී අනාවරණය විය.

මේහිදි මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කළ අතර නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුවට බලය නොමැති බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළේය. මෙය සාපරාධී අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කෝපා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳ මාසයක් ඇතුළත කෝපා කමිටිවට වාර්තාවක් ලබාදෙන ලෙස ද මෙහිදී කෝපා සභාපතිවරයා නිර්දේශ කළේය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු මොහාන් ප්‍රියදර්ෂන ද සිල්වා, ගරු ලසන්ත අලගියවන්න, ගරු කාදර් මස්තාන්, ගරු සුරේන් රාඝවන්, ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු අශෝක් අබේසිංහ, ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මේජර් (ආචාර්ය) ප්‍රදීප් උඳුගොඩ සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

 

1 3

5

 



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks