පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-11-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් නියෝජිත පිරිසක් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ (DSAS) දකුණු ආසියානු රටවල් සමඟ පවත්වන සබඳතා සඳහා වූ නියෝජිත පිරිසක් විසින් 2022 නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා දින අතථ්‍ය අයුරින් ඵලදායී සංවාදයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රි සහ DSAS හි සභාපති වන නිකොලා ප්‍රොකචිනි මහතා විසින් මෙම නියෝජිත පිරිස් සඳහා නායකත්වය ලබා දෙන ලදී. 2017 නොවැම්බර් මස මෙම පාර්ලිමේන්තු දෙක අතර අවසන් වරට භෞතික අයුරින් කොළඹ දී පවත්වන ලද හමුවෙන් පසුව පවත්වන ලද පළමු අථත්‍ය හමුව මෙය විය.
ශ්‍රී ලංකා-යුරෝපා සංගම් හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කළ විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, මානුෂීය ආධාර සැපයීම ඇතුළුව වත්මන් සමාජ-ආර්ථික තත්ත්වය ප්‍රකෘතිමත්භාවය කරා ගෙන ඒමේ ක්‍රියාවලියේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දක්වන නොසැලෙන සහයෝගය පැසසුවේ ය. පැරිස් සමාජයේ සාමාජිකයන් දැක්වූ සහය සහ සහයෝගිතාව අගය කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවත්වන සාකච්ඡා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම යනාදිය පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් දැනුම්වත් කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ඇතුළුව දූෂණ විරෝධී පියවර, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම (TRC) සඳහා සුදුසු ආකෘතියක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම, ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූලව සුදුසු ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීම සමඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම සහ එය ප්‍රතිස්ථාපනය කිරීම හා සබැඳි ක්‍රියාවලිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටින රැඳවියන් නිදහස් කිරීම සහ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ සමස්ත ප්‍රගතිය ආදිය පිළිබඳව ශ්‍රී ලංකාවේ දැකගත හැකි මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙම පාර්ලිමේන්තු නියෝජිත පිරිස දැනුම්වත් කළේ ය.
ඒකාබද්ධ කොමිෂන් සභා ක්‍රියාවලිය යටතේ පවතින බහු ආංශික තේමාත්මක සහයෝගිතාව සහ යුරෝපා සංගමයේ බහු වාර්ෂික දර්ශක වැඩසටහන (MIP) යටතේ හිමි වන සහය පිළිබඳව සඳහන් කළ යුරෝපා සංගමයේ සම සභාපති නිකොලා ප්‍රොකචිනි මහතා, යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය පැසසුවේ ය. ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික වූ යුරෝපා සංගමය, යුරෝපා සංගමයේ ජීඑස්පී+ (GSP Plus) ක්‍රමය හරහා ශ්‍රී ලංකාව ලද ප්‍රතිලාභ මෙන්ම රටේ අනුකූලතා ක්‍රියාවලිය පිළිබඳව ද සඳහන් කළේ ය. මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන බැවින්, ශ්‍රී ලංකාවේ අපනයනවලට යුරෝපා සංගම් වෙළෙඳපොළට පිවිසීමේ දී අවැසි තීරුබදු රහිත ප්‍රවේශය සලසන ජීඑස්පී+ සහනය පිළිබඳව රජය දක්වන ගැඹුරු ඇගයීම පිළිබඳව සඳහන් කළේ ය.
ඉන්දියානු සාගරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ යුරෝපා සංගමය පවත්වන පුළුල් සබඳතාව, දේශගුණික ක්‍රියාකාරකම් හා සබැඳි සහයෝගිතාව, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ වසංගතය තුළින් එල්ල වූ අසමාන බලපෑම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්වල බලශක්තිය, පොහොර සහ ආහාරවල මිල ඉහල යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරු සිය මැදිහත්වීම් අතරතුර, යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාව සමඟ පවත්වන සහයෝගිතාව හා සබැඳි විවිධ පැතිකඩ සිය පැසසුමට ලක් කළහ. විශේෂයෙන්ම වත්මන් සමාජ-ආර්ථික සන්දර්භය තුළ යුරෝපා සංගමයේ ජීඑස්පී+ පහසුකම ශ්‍රී ලංකාවට වැදගත් වන ආකාරය ඔවුහු මෙහිදී අවධාරණය කළහ. මෙහිදී සිය අදහස් පළ කළ පාර්ලිමේන්තුවේ කාන්තා බල මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරියක්, බිම් මට්ටමේ සිට කාන්තාවන් සවිබල ගැන්වීම සහ ඇඟලුම් සහ අනෙකුත් ක්ෂේත්‍ර තුළ කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දීම සඳහා ජීඑස්පී+ වැඩපිළිවෙළ ලබා දී ඇති දායකත්වය පිළිබඳව පෙන්වා දුන්නා ය. ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය සඳහා යුරෝපා සංගමයේ රටවල් දක්වන දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් විය.
ශ්‍රී ලංකාවේ විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ විවිධ මැදිහත්වීම් මෙන්ම ඔවුහු මෙහිදී සිදු කළ අවංක අදහස් හුවමාරුව යුරෝපා සංගමයේ සම සභාපතිවරයාගේ පැසසුමට ලක්විය. තවද, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තු අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වන හවුල් කැපවීම දෙපාර්ශ්වය විසින් යළිදු අවධාරණය කෙරිණි.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ඇතුළුව ශ්‍රී ලංකා රජය සහ විරුද්ධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහනව දෙනෙකු (19), එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), සමගි ජන බලවේගය (SJB), ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) ) යන පක්ෂවල නියෝජිතයෝ මෙම අතථ්‍ය රැස්වීම සඳහා සහභාගී වූහ. යුරෝපීය පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කමිටුව (INTA) නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී මැක්සිමිලියන් ක්‍රාහ් මැතිතුමා, යුරෝපා සංගමය නියෝජනය කරමින් මෙම මැදිහත්වීම්වල නිරත වූ පිරිසට ඇතුළත් විය. යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියානු අංශයේ ප්‍රධානියා ද මෙහිදී සිය අදහස් පළ කළේ ය.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරු, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ.
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
2026-09-09
වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2026-09-08
“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(i) පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(ii) පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,(iii) පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.• 2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි • 2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි • 2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි • 2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි • 2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි • 2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි • 2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි • 2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2026-09-08
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 08) සිය සහතිකය සටහන් කළේය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks





