E   |     |  

2022-11-25

පුවත් කාණ්ඩ : පුවත් 

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

•    දෙසැම්බර් 10 වැනි සෙනසුරාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරේ...

 

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට අද (නොවැ. 25) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කරන ලදී.

මේ අනුව එදින පෙ.ව. 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා  මෙම පනත් කෙටුම්පත් ද්විත්වය විවාදයට ගැනීමට නියමිතය. තවද එදින ප.ව. 5.00 සිට 5.30 දක්වා ආණ්ඩුපාර්ශ්වය විසින් ගෙන එන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මීට පෙර දෙසැම්බර් 09 සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කොට තිබූ අතර මේ අනුව එය දෙසැම්බර් 10 දින පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.

මේ අතර ලබන 30 වැනිදා 2023 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයෙන් පසු 2022 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ දේශීය භාණ්ඩාගාර ආඥා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2025-11-27

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 11 වන  දිනය වන අද (නොවැ. 27) විවාදයට ගන්නා ලද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.  


2025-11-26

ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයන්හී වැය ශීර්ෂ සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන  දිනය වන අද (නොවැ. 26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයන්හී  වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.


2025-11-26

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් සමස්ත චීන කාන්තා සම්මේලනයෙන් රුපියල් මිලියන 43 ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා සහාය වීම පිණිස  සමස්ත චීන කාන්තා සම්මේලනය (All-China Women’s Federation - ACWF) විසින් යුවාන් 1,000,000 (ආසන්න වශයෙන් රු. මිලියන 43) ක් වටිනා ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී . ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් සඳහා මාතෘ හා බිළිඳු කාමරයක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා උපකරණ මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හරහා රටපුරා බෙදා හැරීම පිණිස කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන ද මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (25) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong ) මහතා විසින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියට නිල වශයෙන් පිළිගන්වන ලදී.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහිදී සිය අදහස් දක්වමින් සඳහන් කළේ මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන්නක් බවයි. මෙරට කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව අවධාරණය කළ කථානායකවරයා, සමස්ත චීන කාන්තා සම්මේලනයේ අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.රැස්ව සිටි පිරිස අමතමින්, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙම කාලෝචිත පරිත්‍යගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය. පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය, විශේෂයෙන් මෙරට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්හි කාන්තාවන් සහ දරුවන් නඟා සිටුවීම අරමුණු කරගත් වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහය වනු ඇති බවද ඇය සඳහන් කළාය.චීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ මිත්‍රත්වය පිළිබඳව මෙහිදී සිහිපත් කළ  චීන තානාපති චී ෂෙන්හොං මහතා සමස්ත චීන කාන්තා සම්මේලනයේ මෙම පරිත්‍යාගය කාන්තා සවිබල ගැන්වීම සහ දරුවන්ගේ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය දැක්වීම කෙරෙහි චීනයේ කැපවීම පිළිබිඹු කරන බව අවධාරණය කළේය.2023 සහ 2024 වසරවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව  චීන රජය විසින්  මෙරට පාසල් නිල ඇඳුම් සඳහා සහාය වීමට සහ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි කටයුතුවලට අනුග්‍රහය ලබා දීම සඳහා එකඟතාවය පළ කොට තිබිණි.  


2025-11-26

ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වෙයි

දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා තේරී පත් විය. උක්ත සංගමය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ රැස්වීම ඊයේ (නොවැ. 25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩි.වි. ගුස්ටිනා ටොබින් මහත්මිය ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී විය. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් අතම්බාවා මහතා සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය. මෙම හමුව අතරතුර, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින දීර්ඝකාලීන සම්බන්ධතාවය, ආගමික සබඳතා, සංස්කෘතික හුවමාරු සහ ජනතාව අතර සම්බන්ධතාවය මත ගොඩනගා ඇති බව දෙපාර්ශ්වයම අවධාරණය කළහ. සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, බලශක්ති අංශය සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පිහිටුවීම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ඵලදායී අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බවට දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ. රැස්වීම ආරම්භ වීමට පෙර, ඉන්දුනීසියානු තානාපතිවරයා ගරු කථානායකතුමා හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි සාකච්ඡාවේ අවධානය යොමු කෙරිණි. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks