E   |   த   |  

2022-11-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් ‘කෝප්’ කමිටුවට කැඳවයි

වෙලාඩ් ව්‍යාපෘතිය (Wellard Project) යටතේ 2018 වර්ශයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

මෙලෙස කිරි ගවයන් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ගෙවීම සිදු වුවද සතුන් ලබාගැනීමක් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කිරීමක් තවම සිදු වී නොමැති බව මෙහිදී හෙලි විය. එසේම 2012, 2013 සහ 2015 වර්ෂ වලදී ඇ.ඩො. මිලියන 33.7 ක් වැයකොට ඹ්ස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4495 න් 3991 මියගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව විගණකාධිපතිවරයාට මේ පිළබඳ මෙම විශේෂ වාර්තාව කෝප් කමිටුවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2017 වර්ෂයේ විගණකාධිපති වාරතා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කර බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම නිර්දේශය සිදු කළේය.

මේ සඳහා  ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්, විගණකාධිපතිවරයා, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව සහ කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්  සහභාගී විය.

මෙහිදී විගණකාධිපති වාර්තාව සහ 2021 අප්‍රෙල් 07 දින පැවති කෝප් කමිටුවේ කාර්ය සටහන් පිළිබඳ සලකා බැලීම සිදු විය. මේ අනුව එහිදී මූලික කරුණු 5ක් පිළිබඳ අවධානය යොමු කළේය.

එනම් ජාතික පශු සම්පත් මණ්ඩලයේ සංයුක්ත සැලැස්මට අනුකූල ලෙස සංයුක්ත සැලැස්මේ ඉලක්ක සපුරාගැනීම පිළිබඳ පවතින ගැටලු, 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, ගිණුම් ඉදිරිපත් කිරීම හා විගණන මතය පිළිබඳ දුර්වලතා එනම් 2019, 2020, 2021 මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් නොකිරීම, විගණන සහ කළමනාකරණ රැස්වීම් ක්‍රමානුකූලව පවත්වා නොගැනීම සහ කෝප් කමිටුව විසින් කරන ලද නිර්දේශ ප්‍රමාණවත් අයුරින් පසු විපරමකට ලක් කොට නොතිබීම යන කරුණු 5 සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ගිණුම් කරන ප්‍රශ්න, මූල්‍ය ප්‍රකාශන වාර්තා සහ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම, නිත්‍ය ගණකාධිකාරීවරයෙක් නොමැතිවීම, විගණනය පිළිබඳ ප්‍රශ්න, තොරතුරු තාක්ෂණය භාවිතය, සංයුක්ත සැලැස්මේ ඇති දුර්වලතා, බඳවාගැනීම්, අතිරික්ත කාර්‍ය මණ්ඩලය ඉවත් කිරීම, ඉඩම් හා සම්බන්ධ ගැටලු, දියර කිරි ව්‍යාපෘතියේ ප්‍රගතිය, වෙලාඩ් ව්‍යාපෘතිය, සත්ත්ව ආහාර නිෂ්පාදන යන්ත්‍ර භාවිතය, ගොවිපොළ කළමනාකරණය, මණ්ඩලය දිගින් දිගටම පාඩු ලැබීම, සී/ස මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම, සී.ස. ශ්‍රි ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්) සමාගම සම්බන්ධ ගැටලු යන සියලු කරුණු සාකච්ඡා කොට අමාත්‍යාංශ ලේකම්වරයාට, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයාට සහ විගණකාධිපතිවරයාට නිර්දේශ 9ක් ලබාදීම සිදු විය.

එනම්

  1. මාසයක් ඇතුළත මෙම මණ්ඩලයේ සංයුක්ත සැලැස්ම යාවත්කාලීන කර ඉදිරිපත් කිරීම.
  2. ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති, සපුරාගැනීමට අපේක්ෂා කරන ඉලක්ක සහ උපායමාර්ගික සැලැස්ම කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම.
  3. සැලසුම් කරන ව්‍යාපෘති සහ සපුරාගැනීහමට අපේක්ෂා කරන ඉලක්ක වෙනුවෙන් පිළියෙළ කරන ලද අයවැයක් කෝප් කමිටුවට ලබාදීම.
  4. මිලදීගැනීම් සහ අළෙවිකිරීම් වෙනුවෙන් ක්‍රියාවට නංවන ප්‍රසම්පාදන සැලැස්ම කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම.
  5. ඉඩම් අයිතිය, පරිහරණය, ඌන උපයෝජනය සහ වටිනාකම් පිළිබඳ පූර්ණ වාර්තාවක් මාස දෙකක් ඇතුළත කෝප් කමිටුවට ලබාදීම.
  6. මිල්කෝ සමාගම සමග උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ඇති හැකියාව පිළිබඳව සති 3ක් ඇතුළත ශක්‍යතා වාර්තාවක් කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම.
  7. සති දෙකක් ඇතුළත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ආකාරයට කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ වාර්තාවක් කෝප් කමිටුවට කැඳවීම.  
  8. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සහ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒ සඳහා වන නිර්දේශ සති තුනක් ඇතුළත ඉදිරිපත් කිරීම.
  9. කිරි ගවයන් රක්ෂණය කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු හඳුනාගෙන වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන්  පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම.


යන නිර්දේශ ලබාදීම සිදු විය.

මෙහිදී මෙම නිර්දේශ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට එළඹෙන දෙසැම්බර් 14 දින මෙම මණ්ඩලය කෝප් කමිටුවට නැවත කැඳවීමට කෝප් සභාපති ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු එස්. එම්. එම්. මුෂාරෆ්, ගරු නලීන් බණ්ඩාර, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රේම්නාත් සී දොළවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. එසේම නිරීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු අනුරාධ ජයරත්න මහතා සහභාගී විය.

 

1 2

34

 



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහත්වරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks