බලන්න

E   |     |  

2022-11-09

පුවත් කාණ්ඩ : පුවත් 

නව කාරක සභා ත්‍රිත්වය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රීවරු හතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ

•    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ප.ව. 7.00 දක්වා දීර්ඝ කෙරේ...
•    දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරි වීදුරුවක් නොමිලේ ලබාදීමටත් තීරණය කෙරේ...

 

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරු හතරදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ (නොවැ. 8) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

මෙලෙස අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නමැති කාරක සභා ත්‍රිත්වයයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ගරු අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා, ගරු එම්.ඒ. සුමන්තිරන් සහ ගරු සාගර කාරියවසම් යන මහත්වරු මෙම විශේෂ කමිටුව සදහා පත් කර ඇත.

දැනට පවතින ස්ථාවර කාරක සභා වන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබද කාරක සභාව යන කමිටුවල කාර්යයන්ම මෙම නව ස්ථාවර කාරක සභාවල විෂය පථයට පැවරී ඇත්ද යන්න විශ්ලේෂණය කොට සංශෝධන අවශ්‍යනම් ඒ සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව මගින් සිදුවනු ඇත.

මේ අනුව ලබන සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වී මෙම නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී එකඟත්වය පළ වී ඇත.  

තවද 2023 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) කාරක සභා අවස්ථාවේ විවාදය සදහා කාලය වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව කාරක සභා අවස්ථා විවාදය පැය එක හමාරකින් දීර්ඝ කිරීමට මෙහිදී තීරණය වී ඇත. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන නොවැම්බර් 23 සිට දෙසැම්බර් 7 දක්වා කාලය තුළ   ප.ව. 7.00 දක්වා විවාදය පැවැත්වෙනු ඇති අතර පෙර තීරණය කළ පරිදි දෙසැම්බර් 8 වැනිදා ප.ව. 5.00 ට තෙවනවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
 
මේ අතර දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරි වීදුරුවක් නොමිලේ ලබාදීමට ද කාරක සභාවේදී තීරණය විය. මේ අනුව දිනකට දරු දැරියන් 500 ක උපරිමයකට යටත්ව ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-09-09

වසර 50කට අධික පැරණි යන්ත්‍ර ඉවත් කර නවීන තාක්ෂණයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණයට සැලසුම්

වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  මහතා විසින් යොමු කළ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.


2026-09-08

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.09.08

“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(i)    පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(ii)    පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,(iii)    පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.•    2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි •    2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි •    2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි •    2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි •    2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි •    2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි •    2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි •    2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද  ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


2026-09-08

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 08) සිය සහතිකය සටහන් කළේය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.


2026-09-01

ගරු කථානායකතුමා කාම්බෝජයේ පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවට සහභාගී වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සෙනරත්න මහතා සමඟින්, 2026 අගෝස්තු මස 26 සිට 28 දක්වා කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන අතිගරු ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය. එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ගරු ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ මහතා සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ගරු ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ මහතා සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ ගරු කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ ගරු කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.සිය දේශනය අවසන් කරමින් ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බව ද එතුමා පෙන්වා දුන්නේය.කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.එමෙන්ම, ගරු කථානායක වික්‍රමරත්න මහතා නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.සමුළුව අවසානයේ “නොම් පෙන් ප්‍රකාශනය” (Phnom Penh Declaration) නිල වශයෙන් සම්මත කර ගන්නා ලදී. ජාත්‍යන්තර මතභේද සාමකාමීව විසඳීම සඳහා ඒකාබද්ධ ව්‍යවස්ථාදායක රාමුවක් තහවුරු කිරීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් විය. කාම්බෝජ ජාතික සභාවේ සභාපති ගරු ‘Samdech Maha Rathsapheathika Thipadei Khuon Sudary’ මහත්මිය විසින් සමුළුවේ සමාප්ති දේශනය සිදු කරන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks