01

E   |     |  

2022-10-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශාසන විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධව නායක හිමිවරු දැනුවත් කිරීමට අමාත්‍යාංශය මැදිහත් වීමෙන් නව වැඩපිළිවෙළක් - අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා

  • අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා අනුකමිටුවක්...

 

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂු නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද  ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා පැවසීය. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව  පනතක් හඳුන්වාදීමටත් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවයත් කාරක සභාවේදී විශේෂ අවධානයට ලක්විය.

මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ජනතාව විසින් කෘෂිකර්මාන්තය ඇතුළු කටයුතු සදහා භුක්ති විඳි කැණීම් සදහා මැනුම් අවසන් කර ඇති ඉඩම් හැර ඉතිරි කොටස අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් ජනතාවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

2016 වසරේ පැවති කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය රු. ලක්ෂ 32 ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය මේ වන තෙක් පවත්වා නොතිබීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල්යාම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා මේ සදහා වහාම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

බෞද්ධ පූජනීය ස්ථානවලට සූර්ය විදුලිබල පද්ධති ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.  වත්කම් ඇති බෞද්ධ පූජනීය ස්ථානවලින් ආධාර උපකාර මේ සදහා ලබා ගැනීමට මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

භික්ෂුන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලවලද විනය පිරිහීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුවිය. සාමාන්‍යයෙන් බෞද්ධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේදී උපැවිදි වීමේ තත්ත්වයක් ඇති බව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව කමිටුව අවධාරනය කරන ලදී. මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉදිරියේදී සාකච්ඡා කොට පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබදවද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා විය. බුදු දහම රැක ගැනීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවින් මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව මේ පිළිබදව සාකච්ඡා කිරීමට උපදේශන කාරක සභා අනුකමිටුවක් පත් කිරීමටද මීළග රැස්වීමේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරැන් වන සුජිත් සංජය පෙරේරා, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 1 2

3 5

 



සම්බන්ධිත පුවත්

2026-05-29

ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ අයවැය සඳහා යෝජනා ලබා ගැනේ

වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් - අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  විසින් පවත්වන ලදි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස 25 සහ 27 දිනයන්වලදී රැස්වූ අවස්ථාවේදීය. ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය මෙන්ම ඔවුන්ට සේවා සහ පහසුකම් සැලසීම සඳහා පවතින බාධක හඳුනාගනිමින්, ඊට තිරසර විසඳුම් ලබාදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු  සංසදය බහුවිධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දිගුවක් ලෙස 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ පූර්ණ හා ඵලදායි සමාජ සහභාගීත්වය වඩාත් සංවිධිත ආකාරයට තහවුරු කිරීමත්, අපේක්ෂා කෙරේ.ඒ අනුව, දැනට ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්,  නව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින් සහ ආබාධ සහිත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝජනා ලබාගැනීම සිදු විය.  මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා එහි සාමාජික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ. 


2026-05-29

වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා පාර්ලිමේන්තුයව්දී සිදු කෙරිණි. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.   විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ක් 500ක් පමණ  වැඩ තහනමට ලක්ව සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවමත් වැටුප් ලබා ගනිමින් සිටින බවත් පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ. විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග නිසා  මෙලෙස වැටුප් ගෙවීම සිදු වන බවත් එසේ වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස්රථ වල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම් උපයන බවත් නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ගරු අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.එසේම ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා වන අනු කාරක සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව, කාර්යක්ෂම සහ සතුටුදායක සේවා උත්පාදනය කරන ස්ථානයක් බවට පත් කිරීම සඳහා වන අනු කාරක සභාවේ අවසන් වාර්තාව සහ අතුරු වාර්තාව පිළිවෙළින් ඉදිරිපත් කිරීම සිදු විය.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග ගුණසේකර, (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-05-29

දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානය

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ  අලි ඇතුන් සහ දිවියන්ට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී  පවත්වන ලදී.එම සංසදයේ සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.මෙහිදී එල්-නිනො සහ ලා-නිනෝ දේශගුණික තත්ත්වයන්, අලි ඇතුන් සහ දිවියන්ගේ ජීවන රටාවට ඇති කරන බලපෑම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු  කෙරුණු අතර  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළහ.දේශගුණික විපර්යාස නිසා  වනජීවීන්ට සිදුවන බලපෑම් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවත්, එහි පළමු පියවර ලෙස අලි ඇතුන් සහ දිවියන් සම්බන්ධ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. තවද, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ පාර්ශ්වයන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත්  පැවසීය.මෙම සාකච්ඡාව සඳහා දේශගුණික විශේෂඥයින් සහ පරිසරවේදීන් ද සහභාගී වී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. මිනිස් – අලි ගැටුම් අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂාවට අදාළ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චම්පික හෙට්ටිආරච්චි, රියාස් ෆාරුක් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී වූහ.


2026-05-29

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු ගරු අමාත්‍ය (නීතීඥ) හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේ මෙලෙස අනුමැතිය හිමිවිය. 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2026.05.19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගත් මෙම ගිවිසුම මගින් සාපරාධී කාරණාවලදී දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීමට මඟ පාදයි. ඒ අනුව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි මෙම නියමය මගින්, ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා භාවිත කිරීමට අදහස් කරන ලද අරමුදල්, අපරාධයකින් උත්පාදිත දේ සහ අපරාධ මෙවලම් සොයා ගැනීම, තහනම් කිරීම, අහිමි කිරීම හෝ රාජසන්තක කිරීම ඇතුළු අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ මැඩ පැවැත්වීම සම්බන්ධ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම මගින් ගිවිසුමේ දෙපාර්ශවයේම භූමිකාව වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.     අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර 2018 වසරෙන් පසු බඳවා ගැනීම් සිදු නොකිරීම නිසා මේ දක්වා පුරප්පාඩු  2647 ක් ඇති බව නිලධාරීහු පැවසූහ. ඒ අනුව බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව, ගරු මන්ත්‍රීවරු අධිකරණ, බන්ධනාගාර හා නීති ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවාට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.    ගරු නියෝජ්‍ය අමාත්‍ය (නීතීඥ) සුනිල් වටගල මහතා ඇතුළු ගරු මන්ත්‍රීවරු පිරිසක් ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks