E   |   த   |  

2022-10-26

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වෘත්තීය පුහුණු ආයතන සමග ඒකාබද්ධව පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සති දෙකක් තුළ සකස් කරන්න - ‘කෝපා’ කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නියෝග කරයි

වෘත්තීය පුහුණු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ  සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් (කෝපා කමිටුව) විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා (ඔක්. 21)  උපදෙස් ලබා දෙන ලදී.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබදව වූ කාර්ය සාධන විගණන වාර්තාව පරීක්ෂාව සදහා රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව පසුගියදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දීම සිදුවිය.

මේ අනුව එම ආයතන ඉදිරියේදී නැවත කෝපා කමිටුව හමුවට කැදවන බවද කමිටු සභාපතිවරයා පැවසීය.

විදෙස් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයන්හට විශාල ඉල්ලුමක් තිබුණද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතල ගැටලුවක් බවද 2021 වසරේ මෙය 33%ක් තරම් පහළ අගයක් ගෙන ඇති  බවත් මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරනයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම මෙයට හේතුවී ඇති බවද කමිටුව පෙන්වා දුන්නේය.
 
මේ අනුව විදෙස් රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ලොව නව රැකියා වෙළදපළ පිළිබද නිරන්තර අවධානයෙන් යුතුව අදාළ ඉල්ලුම පවතින ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රමිකයන් පුහුණු කිරීම සදහා නව සැලැස්මක් සහිත කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

ජාතික විගමනික ශ්‍රමික ප්‍රතිපත්තියක් මේ වන විට සකසා තිබුණද මෙය පදනම්කරගෙන ක්‍රියාත්මක නොවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය. මේ අනුව මෙම ප්‍රතිපත්ති කාලීන වශයෙන් යාවත්කාලීන කිරීම කළ යුතු බවද කමිටුව අවධාරණය කළේය. එම කටයුතු ආරම්භ කර ඇති බව මෙහිදී නිලධාරීහු පැවසුවද  එහි ප්‍රමාදයක් පවතින බව පෙනී යන බවත් විදේශ රැකියා ශ්‍රමිකයන් යැවීමට අදාළ මූලික සැකස්ම ඇත්තේ මෙම ප්‍රතිපත්තීන් තුළ බැවින්  නිශ්චිත සැලැස්මක් සහ අරමුණක් සහිතව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමි‍ටුව විසින් පෙන්වා දෙන ලදී.

2016 වසරේ ඇමරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව  සුදුසුකම් සහිත හෙදියන් සදහා එරට  අවකාශය තිබුණද  ඊට අයදුම් කර තිබූ හෙදියන් 425ක පිරිසක් අතුරින්  අදාළ භාෂා ප්‍රවිණතා විභාගයෙන් සමත් වූයේ හෙදියන් තිදෙනෙක් බවද මෙහිදී අනාවරණය විය.

ජපානය, කොරියාව ඊශ්‍රාලය වැනි රටවල රජයයන් අතර පවතින ගිවිසුම් අනුවද පුහුණු ශ්‍රමිකයන් යැවීම සදහා අවකාශය තිබුණද අදාළ රටවල භාෂා ප්‍රවීණත්වය මෙන්ම වෘත්තිමය කුසලතාව සහිත පිරිස අඩුවීම නිසා මෙරටින් විදෙස්ගත වන පුහුණු ශ්‍රමික පිරිස අවම වන බව මෙහිදී හෙලිවිය. මෙහිදී කමිටුව දීර්ඝ වශයෙන් පෙන්වා දුන්නේ අදාළ තානාපති සබදතා ඔස්සේ රැකියා අවස්ථා විවර කර ගැනීම මෙන්ම ඊට අදාළව වෘත්තීය කුසලතාව සහිත ශ්‍රමිකයන් පුහුණු කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු මෙම ආයතන ක්‍රියාත්මක විය යුතු බවයි.  

මෙරට ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක  විදේශ විනිමය උපයන උල්පතක් බදු මෙම විදේශ රැකියා ක්ෂේත්‍ර හදුනාගෙන ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය. ඒ සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ පවතින පර්යේෂණ අංශයද වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද මෙහිදී කමිටුව අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ලසන්ත අලගියවන්න, ඩයනා ගමගේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ.සී අලවතුවල, ඉසුරු දොඩන්ගොඩ, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

5 6



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks