E   |   த   |  

2022-10-14

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

‘කෝප්’ කමිටුවේ ඉදිරි කටයුතු සඳහා විගණකාධිපතිතුමා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක කර ගැනීමට තීරණය කෙරේ

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ ඉදිරි වැඩකටයුතු සඳහා විගණකාධිපතිතුමා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක කර ගැනීමට තීරණය කළ බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා කෝප් කමිටුව පසුගියදා (ඔක්. 07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
 
විශේෂයෙන් ආයතන කැඳවීම, අනු කමිටු පත් කිරීම සහ පසුවිපරම් කිරීම යන කරුණු සඳහා විගණකාධිපතිතුමාගේ දායකත්වය ලබා ගැනීමටත් එකතු කළ හැකි ආයතන එකතු කිරීමටත් සුළුතර කොටස් ප්‍රමාණයක් ආයතන 17ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමටත් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්ගමේන්තුවේ දායකත්වය ලබා ගැනිමටත් මෙහිදී තීරණය විය.

විශේෂයෙන් මහාභාණ්ඩාගාරයේ නියෝජිතයන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමේදී ඔවුන්ගේ දායකත්වය සහ සහභාගි වන රැස්වීම් වලදී සාකච්ඡාවට ලක්කරන ප්‍රධාන කරුණු පිළිබඳව කෙටි සටහනක් මගින් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කිරිම සිදු කිරීමේ වගකීම රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව වෙත පැවරීමද මෙහිදී සිදුවිය.  

කෝප් කමිටුව හමුවට කැඳවන ආයතන තීන්දු කිරීමේදි විගණකාධිපතිතුමාගේ නිර්දේශයන්වලට යටත්ව අදාළ ආයතන වර්තමානයේදී මුහුණදී තිබෙන අවධානම් තත්ත්වයන්, වහා විසඳා ගත යුතු ගැටලු, පසු විපරමක අවශ්‍යතාව සහ එවැනි කැඳවීමක් කිරීමට අවශ්‍ය යැයි හැඟී යන විටක කැඳවීමටද මෙහිදී තිරණය විය.

ඒ අනුව ආයතන 05 ක් ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට කමිටු සාමාජිකත්වය එකඟ වී තිබේ. ලංකා ධීවර සංස්ථාව,  විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහල යන ආයතන එසේ ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

එමෙන්ම, සියලු රාජ්‍ය ව්‍යවසාය කැඳවීම ප්‍රධාන කමිටුවටම සිදු කිරීම අපහසු නිසා අනු කමිටු කිහිපයක් පත් කිරීමටද මෙහිදී තීරණය විය. විගණකාධිපතිතුමා සකස් කොට ඇති ආයතන කැඳවීම් ලැයිස්තුව සහ ආයතන කැඳවීම් අවලංගු කිරීමේ ලැයිස්තුව සලකා බලා එම අනුකමිටු වලට කැඳවන ආයතන පිළිබඳ ඊළඟ කමිටු වාරයේදී තිරණය  කිරීමටද මෙහිදී තිරණය විය.

සෑම රාජ්‍ය ව්‍යවසායක ආයතනයකම අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරිම සඳහා විගණකාධිපතිවරයා විසින් සැලැස්මක් සකසන අතර එය විගණන කටයුතු සඳහාද ඉදිරියේදී යොදා ගැනීමට නියමිතය.

කෝප් කමිටුවේ බලතල පුළුල් කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමටද කමිටුවේදී යෝජනා විය. ඒ සඳහා වන ඉල්ලිම ගරු කථානායකතුමා වෙත යැවීම සඳහා දැනටමත් කටයුතු සම්පාදනය තිබේ.

එමෙන්ම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සරල කිරිම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විගණකාධිපතිවරයා වෙත පැවරීමද මෙහිදි සිදුවිය.

එමෙන්ම පසුගිය දිනවල සාකච්ඡාවට ලක් කෙරුනු ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සියළු පාර්ශව කැඳවා කරුණු විමසීමටද කමිටු සාමාජිකත්වය විසින් තීරණය කරන ලදී.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා විසින් පසුගිය කාලය තුළ මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද කරුණු කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන ලෙස ලිඛිතව දැනුම් දීමටද කමිටුව විසින් තීරණය කොට තිබේ.

ඒසේම ප්‍රසම්පාදන මගපෙන්වීම් අත්පොතේ ඇතුළත් කරුණු පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වූ අතර, ‘එස් පවර් ඇඹිලිපිටිය’ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමටද කමිටුව විසින් තීරණය කරන ලදී.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ, ගරු ශාන්ත බණ්ඩාර, ගරු ඩී.වී. චානක, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර කුමාර දිසානායක, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු පාඨලී චම්පික රණවක, ගරු එරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලාන්සා, , ගරු සංජීව එදිරිමාන්න, ගරු මධුර විතානගේ, ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, සහ ගරු උපුල් මහෙන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks