පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-07-05
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
කෝප් කමිටුව විසින් කරන ලද නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදී ය.
විශේෂයෙන්ම එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්වූ අතර මෙහිදී ප්‍රධාන කරුණු 3 ක් පිළිබඳ සාමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම සිදු විය. ඒ අනුව 2022 පෙබරවාරි 23 සිට මේ දක්වා කාලසීමාව තුළ සිදුකරන ලද කෝප් කමිටු විමර්ශන වල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීම මෙහිදී සිදු විය. මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මෙම කාලසීමාව තුළ සිදුකළ විමර්ශන එක් වාර්තාවක් ලෙස සකස්කොට ඇති බවත් එම වාර්තාවේ පිටපත් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කොට ඇති බවත්ය.
එසේම වැඩිදුරටත් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකන් එයාලයින් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය දැව සංස්ථාව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය ඇතුළු ආයතන කිහිපයකට අදාළ තීරණ මෙම වාර්තාව තුළ ඇතුළත් වන බවයි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කාරක සභාව මෙම ආයතන සම්බන්ධයෙන් ලබාදුන් ඇතැම් තීරණ වලට අදාළ ඇතැම් වාර්තා තවමත් කාරක සභාව වෙත ලබා දී නැති බවයි.
මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙම තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුව සහ කාරක සභාව ලෙස තවදුරටත් මැදිහත් විය යුතු බව ඔවුහු පෙන්වා දුන්හ. විශ්ෂයෙන්ම මෙය මාධ්‍ය සංදර්ශනයක් හෝ කථා පෙට්ටියක් යන තත්ත්වයෙන් ඔබ්බට ගොස් වැදගත් කාර්යයක් වන තැනක් බව මහජනතාව දැනුවත් විය යුතු බව සාමාජික මන්ත්‍රීවරු පැවසූහ.
මේ අනුව කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ ස්ථාවර නියෝග ප්‍රකාරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති ව්‍යවස්ථාදායක බලතල අනුව කාරක සභාව කටයුතු කරන බවයි. එසේම හඳුනාගත් වැදගත් ආයතන නැවත කැඳවා පාර්ලිමේන්තුව ලෙස විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
තවද මහ බැංකුවේ රාජ්‍ය ණය සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට කෝප් කමිටුව විශේෂයෙන් රැස්වීමට අදාළ දින තීරණය කරගැනීමද මෙහිදී සිදු විය. මේ අනුව මෙම මස 19,20,21,22 යන දිනයන්හි මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කෝප් කමිටුව විශේෂයෙන් රැස්වීමට තීරණය කළේය. ඒ සඳහා මහබැංකුවේ හිටපු අධිපතිවරුන්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කැඳවීමටද එකඟතාවය ඵල විය.
එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම්, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීමට කෝප් කමිටුව අගෝස්තු මස 02,03,04,05 යන දිනවල විශේෂයෙන් රැස්වීමට තීරණය විය.
මීට අමතරව මෙම මස 07 දින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුවට කැඳවීමට ද මෙම රැස්වීමේදී තීරණය විය.
මෙම කාරක සභාව සඳහා ගරු අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා, ගරු පාඨලී චම්පික රණවක, ගරු එස්. එම්. මරික්කාර්, ගරු නලීන් බණ්ඩාර, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ ගරු මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



