2022-06-21
කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
නීතිය මගින් නියම කරන ලද විධිවිධාන යටතේ සියලුම අපරාධ හෝ සිවිල් නඩු ඇසීම, විභාග කිරීම, තීරණය කිරීම සහ අවසන් කිරීම සදහා කම්කරු විනිශචය අධිකාරිවල සභාපතිවරයන් අතිරේක මහේස්ත්‍රාත්වරයන් ලෙස සැලකීම හා ඒ හා සබැදි කරුණු සදහා විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පත මගින් සිදුවේ.
වර්තමානයේදී, කාර්මික ආරවුල් පනතට අනුව සේවකයන්ගේ සේවය අවසන් වූ අවස්ථාවන්හි, ඒ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ නඩු කටයුතු පමණක් කම්කරු විනිශ්චය අධිකාරියක් යටතේ සිදු කෙරෙයි. සේවක අර්ථ සාධක අරමුදල, වැටුප්, වෙනත් සේවා කොන්දේසි හා තත්ත්වයන් පිළිබඳව වූ විවිධාකාර පනත්වල ඇති ප්‍රතිපාදනයන්ට හාම්පුතුන් එකඟ නොවන හෝ එම රෙගුලාසීන් කඩකරන අවස්ථාවකදී, නඩු පැවරීම මහේස්ත්‍රාත් අධිකරණයන් තුළ දී සිදු කරනු ලැබේ.
මෙහිදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ 80 ක පමණ නඩුකරයන් 16000කට අධික ප්‍රමාණයක් පවරනු ලැබ තිබීමයි. මෙම නිසා අගතියට පත් සේවකයින්ට යම් සාධාරණයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බව ද, දැනට ඉතා සුළු ප්‍රමාණයක නඩු කටයුතු සිදුකරන, දිවයින පුරා ස්ථාපිත කම්කරු විනිශ්චය සභා 37 ක් වෙත මෙම නඩු කටයුතු පවරන්නේ නම්, අගතියට පත්වන පාර්ශවයට සධාරණයක් ඉටු කිරීම කඩිනම් කළ හැකි බවටද පසුගිය කාලය තුළ යෝජනා ඉදිරිපත්වී ඇත.
එහෙයින්, මෙම පනත මඟින් එම නඩු කටයුතු කරගෙන යෑමේ බලතල කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරුන්ට පැවැරීම සිදුවේ. මීට පෙරද මෙලෙස කම්කරු විනිශ්චය සභාවන්ට පෙර කී බලය පැවරී තිබුණු අතර එමඟින් බොහෝ නඩු කටයුතු කඩිනමින් විසඳා ගත හැකි වූ බව ද, පසුව එම බලතල අහෝසි කෙරුණු බවද මෙම පනත් කෙටුම්පත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලූ අවස්ථාවේ සාකච්ඡා වී ඇත.
මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ:
http://documents.gov.lk/files/bill/2022/4/191-2022_S.pdf
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීම සිදු විය.
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 442 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර නඩුවක එක් එක් පාර්ශවයකට නඩු තීන්දුවේ හෝ නඩු වාර්තාවේ අවසාන ආඥාවේ එක් සහතික පිටපතක් ගාස්තු අය කිරීමෙන් තොරව ලබා දීම සිදුවේ.
මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ:
http://documents.gov.lk/files/bill/2022/3/182-2022_S.pdf
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිවිල් නඩු විධාන සංග්‍රහය පනතට 154(අ) නව වගන්තිය ඇතුළත් කරනු ලබන අතර යම් නීති කෘත්‍යයන්හීදී ඇතැම් ලේඛන විධිමත් ඔප්පු කිරීමෙන් නිදහස් කිරීම සිදුවේ.
මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ:
http://documents.gov.lk/files/bill/2022/3/187-2022_S.pdf
අද පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යව්‍ස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද, “විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කළේය.
එසේම අද දින අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත (පළමුවර කියවීම) ඉදිරිපත් කරන ලදී. මෙම පනත් කෙටුම්පත මගින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය වන අතර මරණීය දණ්ඩනය හිමිවන, වරද සිදු කළ අවස්ථාවේ වයස අවුරුදු 18ට අඩු වන්නා වූ තැනැත්තකු සම්බන්ධයෙන් අධිකරණය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 53 වැනි වගන්ති විධිවිධාන සලසා ඇති පරිදි දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම සදහා විධිවිධාන සලසා ඇත.
මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ:
https://www.parliament.lk/uploads/bills/gbills/gazette/sinhala/6255.pdf
අනතුරුව රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබද නිශ්චිත මාර්ග සිතියමක් ඉදිරිපත් කරන තුරු පාර්ලිමේන්තුව විපක්ෂය විසින් මෙම සතියේ වර්ජනය කරන බව විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් ප්‍රකාශ කොට සභා ගැබෙන් ඉවත් වූහ.
මේ හේතුවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විවාදයට එක්ව පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 දක්වා කාර්මික ආරවුල් කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක් වෙමින් අදහස් පළ කළහ.
අනතුරුව ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්වූ අතර ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු මංජුලා දිසානායක මහත්මිය විසින් දුම්රිය ඇතුළු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් විමසන ලදී.
ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අර්බුදකාරී තත්ත්වයක වුවද දරුවන්ගේ අධ්‍යාපනයට ඇති බාධා ඉවත් කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් මෙන්ම පුරවැසියන්ද එක්විය යුතු බවට ගෙනා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය ප.ව. 5.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව හෙට (22) පෙ.ව. 10.00 දක්වා සභාව කල් තබන ලදී.
2026-09-01
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සෙනරත්න මහතා සමඟින්, 2026 අගෝස්තු මස 26 සිට 28 දක්වා කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන අතිගරු ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය. එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ගරු ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ මහතා සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ගරු ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ මහතා සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ ගරු කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ ගරු කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.සිය දේශනය අවසන් කරමින් ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බව ද එතුමා පෙන්වා දුන්නේය.කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.එමෙන්ම, ගරු කථානායක වික්‍රමරත්න මහතා නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.සමුළුව අවසානයේ “නොම් පෙන් ප්‍රකාශනය” (Phnom Penh Declaration) නිල වශයෙන් සම්මත කර ගන්නා ලදී. ජාත්‍යන්තර මතභේද සාමකාමීව විසඳීම සඳහා ඒකාබද්ධ ව්‍යවස්ථාදායක රාමුවක් තහවුරු කිරීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් විය. කාම්බෝජ ජාතික සභාවේ සභාපති ගරු ‘Samdech Maha Rathsapheathika Thipadei Khuon Sudary’ මහත්මිය විසින් සමුළුවේ සමාප්ති දේශනය සිදු කරන ලදී.
2026-08-28
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 9 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 11 සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීමඅජිත් පී. පෙරේරා මහතාශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමසුජීව දිසානායක මහතාපරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනන්ද බණ්ඩාර මහතාකඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීමටී. කේ. ජයසුන්දර මහතාකිතුල් කර්මාන්තය නගා සිටුවීම(ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
2026-08-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ. මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.