logo

E   |     |  

2022-06-20

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් ලබාදෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම පිළිබඳ ‘කෝපා’ කමිටුවේ අවධානය

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් ලබාදෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතායි.

මෙම කාරක සභාව සඳහා මෙදින මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබුණි. මෙහිදී ICTA ආයතනය මෙම අනෙකුත් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ සඳහා අවශ්‍ය මෘදුකාංග සකස් කිරීමේදී සහ උපදේශනය ලබාදීම පිළිබඳව සාකච්ඡා කෙරුණි.

විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන සහ ආදායම් පරිපාලන කළමනාකරණ පද්ධතිය සකස් කිරීමේදී ICTA ආයතනයේ සම්බන්ධවීම පිළිබඳවයි.

මෙහිදී ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන 2015 ආරම්භ කොට තවමත් අසාර්ථක තත්ත්වයේ පැවතීම පිළිබඳ සාකච්ඡා විය. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේ මෙම මෘදුකාංගය සකස්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ක්‍රියාකලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට පරිගණක වැඩසටහන් සකස්කිරීම පිළිබඳ දැනුමක් නොමැති හෙයින් ICTA ආයතනයෙන් සහය ඉල්ලා සිටින විට ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් හෝ සහයෝගයක් ලබාදීමට මෙම ආයතනය කටයුතු නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කර නව තාක්ෂණය සමග මුසු කිරීමේ වගකීමද මෙම ආයතනය සතු බව හෙතෙම සඳහන් කළේය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බදු අයකරගැනීමට අදාළ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන (RAMIS) නිවැරදිව සකස්කරගැනීමට තවමත් නොහැකි වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී ICTA ආයතනය විසින් සකස්කරන ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව අවසාන වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් රාජ්‍ය ආයතන සඳහා සකස්කරදුන් මෘදුකාංග පිළිබඳව,  උපදේශකත්වය ලබාදුන් රාජ්‍ය ආයතන පිළිබඳව සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව වාර්තාවක් ජූලි මස 1 දින වන විට ලබාදෙන ලෙස කෝපා කමිටුව එම ආයතනයට නිර්දේශ කළේය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු තිස්ස අත්තනායක, ගරු මොහොමඩ් මුසම්මිල්,  ගරු දුමින්ද දිසානායක, ගරු නිරෝෂන් පෙරේරා, (වෛද්‍ය) ගරු උපුල් ගලප්පත්ති සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3 4

5

 



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks