E   |   த   |  

2022-06-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

එතනෝල් ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංවාදයට

මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම පිළිබඳව පසුගියදා (08)  පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.

විවිධ සමාගම් සඳහා මෙරටට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, එම සමාගම් ආනයනය කරනු ලබන එතනෝල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් දෙසතියක් තුළ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත දන්වා සි‍ටින ලදී. එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්‍රමාණය සහ නිසි පරිදි එම එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිත කරන්නේද යන්න පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස අවධාරණය කරන ලදී.

තවද, ශ්‍රී ලංකාවට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව කාරක සභාව විසින් විමසා සිටි අතර, ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මින් පෙරද උපදෙස් ලබා දී තිබුණද, ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන නොතිබීම පිළිබඳව කාරක සභාවේ අප්‍රසාදය පළවිණ. මීට අමතරව ඊට අදාළ කටයුතු සකස් කර වඩා කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් සකසා මාස 04 කාලයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටින ලදී.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ක‍ටයුතු පවත්වාගෙන යාමට නිසි ප්‍රමිතියකින් යුතු පරිගණක පද්ධතියක් නොමැති වීම පිළිබඳවද කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විණි. දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේදී, සුරාබදු දෙපාර්තමේන්තුව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව ආදී සෘජුවම සම්බන්ධ වන ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ඉතාමත් ගැටලු සහගත බව කාරක සභාව විසින් පෙන්වා දුන් අතර,   පරිගණක ජාලගතකරණය වහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දෙන ලදී.

ඒ සඳහා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වැනි ආයතන සමග සහසම්බන්ධ වීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි. මෙම කාරණය පිළිබඳව 2016 වර්ෂයේදී ද ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කර තිබුණද මේ දක්වා එම කාර්යය සිදු නොවීම පිළිබඳව කාරක සභාව අප්‍රසාදය පළ කළ අතර, මෙහි ඇති වැදගත්කම සලකා එහි ප්‍රගතිය පිළිබඳව විමර්ශනය සඳහා අනුකමිටුවක් පත් කිරීමටද කාරක සභා සභාපතිවරයා  විසින් තීරණය කරන ලදී.

තවද, ත්‍යාග ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන වාහන පසුකාලීනව විවිධ පාර්ශ්ව වෙත පැවරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්විණි. ඒ අනුව, ත්‍යාග ක්‍රමයට වාහන ආනයනය කිරීමෙන් පසු එම වාහන වෙනත් පාර්ශ්ව වෙත ලබා දීම පිළිබඳව පැමිණ සිටි නිලධාරින්ගෙන් විමසා සි‍ටින ලදී. බදු සහන පදනමක් මත එසේ ගෙන්වන වාහන වසර 05ක් ගත වනතුරු වෙනත් පාර්ශවයක් වෙත පැවරීම සිදු කළ නොහැකි බව එම නිලධාරිහු කාරක සභාවට දැන්වූ අතර, වසර 05 කින් පසු එසේ පැවරීම් සිදු කිරීමකදී වුවද අදාළ වාහන සඳහා පවතින සාමාන්‍ය බදු අගයම අය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකසා ඇති බව ප්‍රකාශ කළහ. එමෙන්ම,  ත්‍යාග ක්‍රමය යටතේ ගෙන්වන වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීමෙන් පසුව නිසි පරිදි පසුවිපරමකට ලක් කිරීම හා නියාමනයේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කෙරිණි.

2015 සැප්තැම්බර් 21 දිනැති අංක 1933/13 දරන ගැසට් පත්‍රයේ ප්‍රතිපාදනවලට, බලපත්‍ර පාලනයට යටත් කරන ලද වාහන සඳහා වන ගැසට් නිවේදනවල‍ට හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආනයන අපනයන පාලකවරයා වෙත දෙන ලද උපදෙස්වලට පරිබාහිරව 2017 වර්ෂ‍යේ පාවිච්චි කළ මෝටර් කාර් රථ 33 ක් වැරදි රේගු සංයෝජිත වර්ගීකරණය අංකනය හේතුවෙන් රු.මිලි. 114.6 ක රේගු බදු අහිමි වීම පිළිබඳව කාරක සභාව විසින් විමසන ලදී. ඒ අනුව ඒ පිළිබඳ පූර්ණ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව දන්වන ලදී. එහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සති ‍02 ක් තුළ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කාරක සභා සභාපතිවරයා දැන්වීය.

එමෙන්ම, සීනී කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබුණු විශේෂ භාණ්ඩ බදු රු.50 සිට ශත. 25ක් දක්වා අඩු කිරීම මඟින් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට නොලැබීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව පිළිබඳවද පසුගියදා කාරක සභාව තුළ සංවාදයට ලක්විණි. සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම හා සීනී ආනයනය පාලනය කිරීමට අවශ්‍ය නිර්ණායක හඳුන්වාදීමට කටයුතු නොකිරීම, බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් රජයට සිදු වූ පාඩුව පිළිබඳව මෙම මස 21 වන දින කාරක සභාවේදී සංවාදයට ගැනීමට නියමිත බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට මන්ත්‍රිවරයන්  වන ගරු ලසන්ත අලගියවන්න, ගරු තිස්ස අත්තනායක , ගරු දුමින්ද දිසානායක, ගරු උදය ගම්මන්පිල, ගරු සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු අශෝක් අබේසිංහ ගරු හේෂා විතානගේ, ගරු සිවඥානම් ශ්‍රිතරන්, ගරු වීරසුමන වීරසිංහ, ගරු රංජිත් බණ්ඩාර, ගරු බී.වයි.ජී. රත්නසේකර, ගරු උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීහුද, රාජ්‍ය නිලධාරින්ද සහභාගී වූහ.

 

1 2

3

 



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks