02

E   |     |  

2022-06-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානයට

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් 2022 මැයි මස 17 වන දින ඉදිරිපත් කරන ලද 2009 අංක 20 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ පසුගියදා (07) විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අවධානයට යොමු විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වූ අතර ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය පිළිබඳ තවදුරටත් විවෘත සාකච්ඡාවක් සිදු කිරීම වැදගත් වන බව කාරක සභාව හමුවේ එතුමා ප්‍රකාශ කළේය.  තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගරු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශවකරුවන්, සේවකයින් මෙන්ම සෙසු ආයතන සමඟ සාකච්ඡා කර වඩාත් නිවැරදි තීරණයන්ට එළැඹීම වැදගත් වන බවයි.

මෙම කෙටුම්පත අනුමත කිරීමට ‍පෙර, ඒ සම්බන්ධයෙන් වූ සියලු කරුණු පැහැදිලි කරගැනීම වැදගත් බවත්, මෙම කටයුත්ත ප්‍රමාද කිරීමකින් තොරව, වගකීම් සහගතව නිවැරදි දේ සිදු කිරීම වැදගත්වන බවත් කාරක සභා අවස්ථාවට පැමිණි ගරු අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු විය. මෙහිදී පනත පමණක් නොව තාක්ෂණික හා නෛතික කාරණා සම්බන්ධයෙන්ද තවදුරටත් අවධානයට ගත යුතු බවද කාරක සභාවේ අවධානයට යොමු විය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදු කිරීමේදී විදේශීය ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයින්ද දිරිමත් කිරීම වැදගත් වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමා කාරක සභාව හමුවේ පැහැදිලි කළ අතර විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ කමිටුවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය වන අයුරින් සිටීම වැදගත් වන බවද කාරක සභාව හමුවේ අවධානයට යොමු කළේය.  

එමෙන්ම, පවතින විදුලිබල අර්බුදය සඳහා විසදුමක් වශයෙන් රටෙහි ස්වාභාවිකව පවතින ජලය සහ සුළං නිසි අයුරින් යොදා ගැනීමට කඩිනම් සැලැස්මක් ක්‍රියාත්මක කිරිම වැදගත් බවත්, පියැසි මත සෝලා පැනල කට්ටල සවි කිරීමේ ව්‍යාපෘති  තවදුරටත් ශක්තිමත් කර  පුනර්ජනනීය බල ශක්තිය වැඩි කිරීමට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත්  තවදුරටත් කාරක සභාවේ අවධානයට යොමු වූ අතර ඒ සඳහා වූ සැලැස්ම ඉදිරියේදී සභාගත කිරීමට බලාපොරොත්තු වන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.

පවතින තෙල් අර්බුදය හමුවේ ධීවර වරායන්ට අවශ්‍යවන භූමිතෙල් සහ ඩීසල් ලබා දීමට නිසි වැඩපිළිවෙලක් ගෙන ඇති බවද ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලය සිඳී යෑමේ ගැටලුව සම්බන්ධයෙන්ද සභාවේ අවධානයට යොමු විය.  එමෙන්ම වැසිගිය සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර නිසි විසදුමක් ලබාදීම සම්බන්ධයෙන්ද, තෙල් ලබා දීමේදී සමූපකාර ඉන්ධන පිරවුම්හල් සඳහාද ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබද අවධානය යොමු විය.

ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව සඳහා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් මෙන්ම රජයේ  උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2025-12-16

හදිසි ආපදා තත්ත්වයෙන් විනාශ වූ මාර්ග හා පාලම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක්

•    ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල්  බිලියන 20 ක පමණ අලාභයක්.දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළයුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා  (දෙසැ.  11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය මාර්ග වලට සිදුවූ හානිය සහ දිවයිනපුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදුවූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදුව නොමැති බවයි. ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේ දී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යාංශය මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ."මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ලෝක බැංකුවෙන් මේ සඳහා යම් ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා සිදුවන බවත් එම නිලධාරීන් පැවසූහ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ණය මුදලක් ලෙස එම ප්‍රතිපාදන ලබා ගැනීම ඔස්සේ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පතේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම මුදල ප්‍රදානයක් ලෙස ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් මිලියන 252 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූහ. එම එම අළුත්වැඩියා කටයුතු සඳහා වැයවන මුදල ඔවුනට අයවැය මගින් වෙන් කර තිබෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපුර්ණය කරගත  හැකි බැවින් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවන බව සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූහ.ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් බිලියන 5.6 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීහු කාරක සභාව දැන්වූහ. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් යෝජනාක්‍රම 156 කට හානි සිදුව ඇති බවත් ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කර මේ වනවිට  යථා තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස ,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ  ලේකම්වරයා  කාරක සභාවට පැවසීය.එමෙන්ම  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ලේකම්වරයා කාරක සභාවට දන්වන ලදී.ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදාවන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාවේ සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ඒ සඳහා අවශ්‍ය සහාය අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් වෙත ලබාදීමට සුදානම් බවද පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, අජිත් පී. පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.


2025-12-09

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, 2026 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාල වැඩසටහන සහ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසන් වාර්තාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ රෙගුලාසි සලකා බැලීම සඳහා විශේෂ කාරක සභා රැස්වීමක්.2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, ජාතික විගණන කාර්යාලයේ 2026 සඳහා වාර්ෂික වැඩ වැඩසටහන සහ 2026 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතේ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කරන ලද අවසන් වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 03 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි (NMRA) පිළිබඳ සාකච්ඡාවේදී, ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී එම පද්ධතියේ පවතින විනිවිදභාවය සහ පාරදෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කාරක සභාව නිර්දේශ කළේය. ඒ අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2452/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව  අනුමත කරන ලදී.අනතුරුව ජාතික විගණන කාර්යාලයේ 2026 වාර්ෂික වැඩ වැඩසටහන ද කාරක සභාව විසින් සලකා බලන ලදී. එම වැඩසටහනට අනුව 2026 වසරේදී විගණන 3,508 ක් සිදු කිරීමට නියමිතය. ඒ යටතට මූල්‍ය විගණන 3,484 ක්, කාර්ය සාධන විගණන 11 ක්, පාරිසරික විගණන 1 ක්, විශේෂ විගණන 12 ක් ඇතුළත් වේ.තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ද 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා ඇත.මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10% ත් අතර 15% ක අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කළේය. කාරක සභාවට වැඩි දුරටත් කරුණු දක්වමින් වැඩබලන විගණකාධිපතිවරයා මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නවාද නැත්නම් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය  සිදු කරන්නේ ද යන්න තීරණය කරන බව පැවසීය.ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධ අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය. ඒ අනුව, ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙබරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.තවද 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කළ අවසන් වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එළඹෙන වර්ෂය සඳහා වන අමාත්‍යාංශ අයවැය යෝජනා සහ මූල්‍ය වෙන් කිරීම් පිළිබඳ කාරක සභාවේ සමාලෝචනයෙන් පසු එහි නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවේ දක්වා ඇත.ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ප්‍රතිපාදන ලබා දීම සඳහා වන යෝජනාව සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.ඒ අනුව  2025 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි රජය විසින් ලබා ගන්නා ලද ඕනෑම ණය මුදලකින් රුපියල් මිලියන පනස් දහසක් (රු. 50,000,000,000) නොඉක්මවන අතිරේක මුදලක් ගෙවිය යුතු බවටත් එවැනි මුදලක් වියදම් කළ යුතු බවත් අදාළ යෝජනාවේ සඳහන් වී ඇත.2460/44 අංක අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.මෙම රැස්වීම් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.


2025-12-09

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක වාර්ෂික සහ ගිණුම් වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා බැලේ

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාල සහ අධ්‍යයන ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ ගිණුම් වාර්තා  අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා   බලන ලදී.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව මෙදින කාරක සභාවේදී  2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා සෞන්දර්ය කලා  විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ  2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව  සළකාබලා අනුමත කරන ලදී .තවද, පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳව සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.මේ අවස්ථාව සඳහා  ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන්, රෝහිණි කුමාරි විජේරත්න, අබූබකර් අතම්බාවා, තුරෛරාසා රවිකරන්,  සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්  මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.


2025-12-05

නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරනවා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  25.11.2025 වන දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ   සභාපතිත්වයෙන්   පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා මෙවර අයවැයෙන් නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය ලබාදීම සඳහා රුපියල් මිලියන අසූ දහසක් වෙන්කර ඇති බවත් එම මුදල ඵලදායී ලෙස නව ව්‍යවසායකයින්ට ලබාදීම උදෙසා මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පැවසීය. එමෙන්ම මෙම ණය පහසුකම් කුමන අංශ සඳහා  ලබාදෙන්නේ ද සහ අදාළ ණය ලබාදීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක්ද ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට අපේක්ෂා කරන බවද ගරු අමාත්‍යවරයා පැවසුවේය.තවද මෙරට සියලුම කර්මාන්තකරුවන්ගේ තොරතුරු එක පද්ධතියකට රැස් කිරීම සඳහා කර්මාන්තකරුවන් සඳහා වූ ජාතික දත්ත පද්ධතියක් ආරම්භ කර ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය. ඒ අනුව එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම සඳහා සියලුම ව්‍යවසායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරන බවත් එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම ඔස්සේ එම ව්‍යවසායකයින්ට පහසුවෙන් අවශ්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පවතින බව මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.තවද ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වූ ශිල්පීන්ට ඇප රහිත ණය පහසුකම් ලබාදීම පිළිබඳවද කාරක සභාවේදී අදහස් පළ විය.එමෙන්ම වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීහු කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව කර්මාන්ත ශාලාවේ පැවති අඩු පාඩු සකස් කර මෙතෙක් මාසිකව පවතින මෙට්‍රික් ටොන් 150-180 අතර නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 400 දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇති බව එම නිලධාරීහු අදහස් දක්වමින් පැවසූහ.තවද මෙරට කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ජාතික උපදේශන මාලාව පිළිබඳවද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කරුණු ඉදිරිපත් කළේය. දැනට ව්‍යාකූල මට්ටමින් ක්‍රියාත්මක වන කැණීම් බලපත්‍ර ලබාදීම වඩාත් ක්‍රමවත්ව ලබාදීම අරමුණු කරගනිමින් ලබන ජනවාරි මාසයේදී එම උපදේශන මාලාව හඳුන්වා දෙන බව ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මෙම කාරක සභා රැස්වීම  සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  ඇතුළු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරීහු   පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks