බලන්න

E   |   த   |  

2022-06-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ මොරටුව විශ්වවිද්‍යාලයේ අචාර්යවරුන්ගෙන් අය විය යුතු මුදල රුපියල් 51,649,961ක් - ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

මොරටුව විශ්වවිද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ විශ්ව විද්‍යාල අචාර්යවරුන් 35 දෙනෙක් ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම නිසා 2021 දෙසැම්බර් 31 දින වනවිට අය වියයුතු මුදල රුපියල් 51,649,961 බවට කෝප් කමිටුවේදී අනාවරණය විය. ගිවිසුම් හා බැඳුම්කර කඩ කොට වසර 08ක් තිස්සේ නොගෙවූ ආචාර්යවරු 16 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල රුපියල් 23,190,595ක් බවද එහිදී හෙළිදරව් විය.

මෙහිදි නිලධාරීන් සඳහන් කළේ ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ ආචාර්යවරුන්ගෙන් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම පිළිබඳ සඳහන් කළ උපකුලපතිවරයා පැවසුවේ ඉහත සංඛ්‍යාවෙන් 05ක් දැනට අය කරගෙන ඇති බවත්, 12ක් වාරික වශයෙන් අයකර ගැනිමට කටයුතු කරන අතර 11ක් වෙනුවෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි.

මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය. මොරටුව විශ්ව විද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාදනය විමර්ශනය කිරිම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.

මොරටුව විශ්වවිද්‍යාලය මූලික වශයෙන් ගණිත,විද්‍යා, ඉංජිනේරු සහ තාක්ෂණ විෂයන් මූලික කරගත් උපාධි පාඨමාලා පමණක් පවත්වන බව උපකුලපතිවරයා දැනුම් දුන්නේ කෝප් සභාපතිවරයා කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මේ වන විට අධ්‍යයන වර්ෂ දෙකක සිසුන් අධ්‍යාපනය ලබන බවත් ඊළඟ අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත නමුත් පීඨය සඳහා කිසිදු ගොඩනැගිල්ලක් මේ වන තෙක් ඉදි කොට නොමැති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය. වෛද්‍ය පීඨයේ තුන්වන සහ අවසාන අධ්‍යයන වර්ෂ සඳහා නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලය නියමිත පරිදි ලබාදෙන ලෙසද උපකුලපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

පීඨයේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහල ආශ්‍රිතව පිහිටුවීමට තීරණය කොට ඇති නමුත් එහි අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දැනට තෝරාගෙන ඇති අක්කර 15ක කළුතර නාගොඩ ඉඩම අත්පත් කර ගැනීම පිණිස ප්‍රතිපාදන ලැබී නොමැති බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා බැංකු ණයක් ලබා ගැනීමට රජය විසින් උපදෙස් ලබා දී ඇති නිසා ඒ අනුව කටයුතු කරමින් පවතින බවද මහාචාර්යවරයා පැවසීය.

මෙහිදී කෝප් සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ඒ ඒ කාලවලදී කටයුතු කරන දේශපාලන අධිකාරීන් විසින් තම අභිමතය මත විශ්වවිද්‍යාල සඳහා අනධ්‍යයන කාර්යමණ්ඩලවලට සේවකයන් පත් කිරීම විශාල ගැටලුවක් වි ඇති බවද කෝප් සභාපතිවරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාලය තුළ පවත්වාගෙන යනු ලබන යුනි කන්සල්ටන්සි නැමැති සමාගමට තවමත් අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ‍ගැනීමට අසමත් වීම සම්බන්ධව මෙහිදී කෝප් කමිටුව විමසා සිටි අතර උපකුලපතිවරයා සඳහන් කළේ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවා ඇති බවයි. මෙම ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධව සිය නොසතුට පළ කළ සභාපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස දැනුම් දුනනේය.

එයට අමතරව මොරටුව විශ්වවිද්‍යාලය යටතේ ආරම්භ කරන ලද එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රි (Lk Domain Registry) සමාගම පිළිබඳවද සාකච්ඡා කෙරිනි.  2004.03.05 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලය සතු සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති මෙම සමාගමේ අයිතිය මේ වන විට විශ්වවිද්‍යාලයට අහිමිවීම පිළිබඳව මෙහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර කෝප් සභාපතිවරයා නිර්දේශ කළේ එල් කේ (.lk) ඩොමේන් රෙජිස්ට්‍රි සමාගම ජාතික වටිනාකමකින් යුත් ආයතනයක් ලෙස සලකා එහි අයිතිය නැවත මොරටුව විශ්වවිද්‍යාලයට ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

විශ්වවිද්‍යාල ආශ්‍රිතව පවතින මෙවැනි සමාගම්වල නීතිමය රාමුව ශක්තිමත් කිරිමේ වැදගත්කමද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර අමාත්‍යාංශ ලේකම්වරයා‍ වෙත නිර්දේශ කළේ යුනි කන්සල්ටන්සි සමාගමට කැබිනට් අනුමතිය ලබා ගැනීම මෙන්ම එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රි, සහ ලර්න් (LEARN) නැමැති සමාගම් පිළිබඳ වාර්තාවක් මාස 03ක් ඇතුළත ලබා දෙන ලෙසයි. එමෙන්ම මුළු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආශ්‍රිත උපදේශන සේවා සමාගම්වලට පොදු උපදෙස් මාලාවක් සැකසීමේ වැදගත්කමද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාලයේ ප්‍රසම්පාදන සැලැස්ම නියමිත පරිදි ඉදිරිපත් කිරීම, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණන හා කළමාණාකරන කමිටු රැස්වීම් පැවැත්වීම ආදී කරුණු සතුටුදායක මට්ටමක පවතින බවට මෙහිදී කෝප් සභාපතිවරයා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ඇගයීමට ලක් කළේය.  

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජයන්ත සමරවීර, ගරු එරාන් වික්‍රමරත්න, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රෙම්නාත් සී. දොලවත්ත යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks