E   |     |  

2022-06-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන්න - ‘කෝප්’ සභාපති නිර්දේශ කරයි

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර  රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කළේය.

ඒ මහතා මෙම නිර්දේශය සිදු කළේ  2022 මැයි 13 දින වන විට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන නිලධාරින් ඊයේ (31) කෝප් කමිටුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.

කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණ ද 2022  අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් පිරිවැය වූ වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් නිර්දේශ ලබා දී තිබූ බවයි. එය එම ආධාර මුදලින් 28% ක් වූ බවත් 2022 මැයි 18 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ  ඉන්වොයිස් පමණක් නිර්දේශ කර තිබූ බවත්  මෙහි දී සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදි.

රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බව මෙහිදී  පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්හ.

විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිගය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින්  පවතින මෙම ගැටලු සහගත තත්ත්වයන් කඩිනමින් විසඳාගෙන ඉක්මනින් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවය මෙහිදී කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ අනුව ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදුකොට මෙම මුදල් යොදවා අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට කටයුතු කරන ලෙස කෝප් සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කළේය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැසුවේ මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදුකරීමට කටයුතු කරමින් සිටින බවත් වර්තමානය වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවත්ය. මේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ මෙම මුදල් වලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම කාල සීමාව තුළ පත්වීම හේතුවෙන් ද මෙම කටයුතු ප්‍රමාද වූ බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

තවද ඉන්දියානු ණය ආධාර වලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර ක්‍රමය (WB), ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර (WHO), ආසියානු සංවර්ධන බැංකු ආධාර (ADB) සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාක්ච්ඡා විය. විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකොට නොමැති බවද මෙහිදී හඳුනා ගැණුනි. මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් අවශ්‍ය පරිපාලන තීරණ සහ අවශ්‍ය අනුමැතිය ලබාගැනීම් කටයුතු සිදු කර මෙම මුදල් යොදවා ඖෂධ මිලදී ගතහොත් 2023 වසරේ මැද වන තෙක්ම ඖෂධ හිඟයක් ඇති නොවන බවයි.

මේ නිසා මේ පිළිබඳ අවධානය යොමුකරමින් කෝප් සභාපතිවරයා සඳහන් කළේ ඖෂධ හිගය වළක්වාගැනීම සඳහා ලැබී ඇති ඇමරිකානු ඩොලර් නිවැරදිව කළමනාකරණය කරමින් ඉක්මණින් යොදවා නොමැති බවයි. එබැවින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟයක් පැවතී නොමැති බවත් කළමනාකරණය කිරීමේදී ඉක්මනින් එය සිදු නොකිරීමේ ගැටලුවක් මෙහිදී නිරීක්ෂණය වන බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම ඖෂධ මිලදීගැනීමේදී රුපියල් හිගයක් පැවති බවද පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්හ. මේ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද සජීවීව මෙම කමිටුව සඳහා සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර හැකි ඉක්මනින් එය විසඳාගැනීමට ද අවශ්‍ය කටයුතු සාකච්ඡා කළේය.

වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ භාවිත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම මෙහිදී හෙළි වූයේ මෙම පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 645ක් පමණ සමාගමකට ලබා දී ඇති බවත් මෙහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන බවත් එසේ වුවද එම පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත් ය. මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද එහි කටයුතු 80% ක් පමණ දැනටමත් අවසන් වී ඇති බවද පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

තවද රටේ පවතින ඖෂධ අවශ්‍යතාවය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මෙවැනි ක්‍රමවේදයක් වඩාත් නිවැරදිව පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම ක්‍රමවේදය මගින් එදිනෙදා ඖෂධ අවශ්‍යතාවය සහ ඖෂධ හිඟය කලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවද පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතනවල ප්‍රසම්පාදන කටයුතු සමබන්ධයෙනද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම ආයතන තුන ඒකාබද්ධව ඉතා ඉකිමනින් අවශ්‍ය තීරණ ගෙන කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් මෙම ආයතන මගින් රටේ ඖෂධ අවශ්‍යතාවය හඳුනාගැනීම සහ ඖෂධ මිලදීගැනීම යන කටයුතු සිදුවන බැවින් මෙම ආයතන කාර්යක්ෂමව එකිනෙක අතර සම්බන්ධතාවයක් සහිතව කටයුතු කිරීම රටටම වැදගත් වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, ජලභීතිකා රෝගය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, නිර්වින්දන කටයුතු සඳහා භාවිත වන ඖෂධ සහ අසාත්මිකතාවන් සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදීගැනීමට ප්‍රමාද වීම පිළිබඳවද එවැනි අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා යොදාගතහැකි විකල්ප ඖෂධ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එසේම 1990 ගිලන්රථ සේවාව සඳහා පවතින ඖෂධ හිඟය විසදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රවුෆ් හකීම්, ගරු පාඨලී චම්පික රණවක, ගරු ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා, (ආචාර්ය) ගරු සරත් වීරසේකර, ගරු ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) ගරු නාලක ගොඩහේවා, ගරු මධුර විතානගේ සහ ගරු එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

3 4

5 6

7 8

9

 



සම්බන්ධිත පුවත්

2026-09-04

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද  කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව  ද කාරක සභාව විසින් මෙහිදී  මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.


2026-09-04

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහ වූ රු. බිලියන 7.5ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත  කරන ලදීගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම පරිපූරක ඇස්තමේන්තුව සාකච්ඡාවට ගැනිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්  සහභාගී වූහ.2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම අමතර ප්‍රතිපාදන අවශ්‍ය වී තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා වී මිලදී ගැනීම කඩිනම් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක්  වන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී වී මිලදී ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සම්බන්ධ කර ගැනීම, වී මිල සහ වෙළඳපොළ කළමනාකරණය, ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. වී ගොවියා ආරක්ෂා කරන අතරම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම සඳහා දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.මේ අතර ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. Asycuda පද්ධතිය තවදුරටත් නවීකරණය කරමින්  කඩදාසි රහිත රේගු ක්‍රියාවලිය තෝරාගත් අංශ සඳහා 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා රේගුවේ  නිලධාරීහු පැවසුහ. ජාතික ඒකීය වෙළඳ කවුළුව (Trade National Single Window) හරහා රේගුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ASYCUDA හි පහසුකම් තිබුණද සෙසු රාජ්‍ය ආයතනවල මේ හා සමාන ඩිජිටල්කරණය කරන ලද පද්ධති නොතිබීම හේතුවෙන් ජාතික ඒකීය වෙළඳ කවුළුව තුලට සියලු ආයතන ඇතුලත් කරගත නොහැකි තත්ත්වයක් පවතින බවද මෙහිදී නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.එමෙන්ම භාණ්ඩ ආනයනයට පෙර සිදුකරන අත්තිකාරම් ගෙවීම් සම්බන්ධයෙන් ඇති මූල්‍ය අවභාවිතයන් පිළිබඳවද අවධානය යොමු කර, ඒවා වැළැක්වීම සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.


2026-09-03

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු සමාලෝචනය කරයි

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලදී. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව  සලකා බැලිණි. මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවසුවේ 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවයි. තවද එය ප්‍රතිශතාත්මකව 130 % ක ප්‍රගතියක් බවද සඳහන් විය. මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට  වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් එ් අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි. ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726  ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන්  සියයට 9.96 ක ප්‍රතිශතයකි. එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නි‍ලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-09-03

සයිබර් අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව ද මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ. එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද සඳහන් කෙරිණි.තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks