බලන්න

E   |   த   |  

2022-04-27

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රාජ්‍ය සතු ව්‍යාපාරවලින් උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට හිමි විය යුතුයි - ‘කෝප්’ සභාපති (මහාචාර්ය) චරිත හේරත් මහතා

රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පැවසීය.

රාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් (1,496,155,864) ලබා තිබියදී රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේෂණය කර ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් වීම පිළිබඳ කෝප් කමිටුවේ විශේෂ අවධානය යොමු විය. මෙහිදී කෝප් සභාපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතන සිය ඉපයීම් වලින් සැලකියයුතු ප්‍රමාණයක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත එවීමට සූදානම් විය යුත බවයි.
 
සභාපතිවරයා මේ අදහස් පළ කළේ රාජ්‍ය දැව සංස්ථාව එහි 2019 සහ 2020 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා පරික්ෂාව සහ කාර්ය සාධනය ඇගයීම සඳහා පසුගියදා (22) කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීය.

මහනුවර වැලිගම්පොල හයින්ෆෝඩ් වත්ත නැමැති ඉඩමෙන් ෆයිනස් ගස් 28958ක් කපා ඉවත් කර ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 2020 ජූනි 30 දින රාජ්‍ය දැව සංස්ථාවට භාරදී තිබුණද එම ගස් ඉවත් කිරීම මේ වන විටත් සිදු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මෙසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කපා ඉවත් කිරීම සඳහා නිර්දේශ කරන දැව කාර්යක්ෂමව ඉවත් කර අපනයනය කිරීමට කටයුතු කළ හැකි නම් රාජ්‍ය දැව සංස්ථාවට විශාල ලාභයක් ඉපයිය හැකි බවයි.

ආනයනික දැව සඳහා සහතිකයක් නිකුත් කිරීමට රාජ්‍ය දැව සංස්ථාවට බලය පැවරීම සඳහා සංස්ථා පනත සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස 2012 ඔක්තොබර් 10 පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් දන්වා තිබුණද එය මෙතෙක් සිදු නොවීම සම්බන්ධවද කමිටුවේ අවධානය යොමු විය. දැව සංස්ථාවේ නිලධාරීන් දන්වා සිටියේ ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි. මෙම ක්‍රියාවලිය 2012 සිට මේ දක්වා ප්‍රමාද වීම සම්බන්ධවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.

රුපියල් මිලියන 14.4ක් වටිනා ණයගැතියන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සංස්ථාව විසින් කපා හැරීම පිළිබඳව මෙහිදි කෝප් කමිටුව කරුණු විමසීය. එහිදී නිලධාරීන් සඳහන් කළේ ආයතනික විගණන හා කළමණාකරන කමිටුවේ අනුමැතිය ලබාගෙන 2007 දී එවකට ක්‍රියාත්මකවූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.  මෙහිදී කෝප් සභාපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ණය සම්බන්ධ ඒකාබද්ධ අරමුදල භාරව කටයුතු කරන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිසාවෙන්, එසේ ණයගැතියන් කපා හරින්නේ නම් ඒ පිළිබඳ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත දන්වා අවසර ලබා ගත යුතු බවයි.

කල්දෙමුල්ල ගෘහ භාණ්ඩ නිෂ්පාදනාගාරයේ පවතින අලාභය ලාභයක් ලෙස වර්ධනය කර ගැනීමට 2012 රැස්වූ කෝප් කමිටුව මගින් නියෝග ලබාදී ඇතත් තවමත් එය අලාභ තත්ත්වයේ පැවතීම සම්බන්ධවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

මෙහිදී කෝප් සභාපතිවරයා විමසා සිටියේ මෙතරම් පාඩුවක් ලබමින් අදාළ ආයතනය පවත්වා‍ ගැනීමේ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. සමස්තයක් ලෙස ගත් විට සංස්ථාවට අයත් ගෘහ භාණ්ඩ අලේවිසල් වල විශාල පාඩු ලබා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී විශාල දැව ප්‍රමාණයක් අපතේ යාම මෙම පාඩු ලැබිමට හේතුවක් ලෙස නිරීක්ෂණය කොට ඇති බව සහ ඉවතලන දැව මගින් අතුරු නිෂ්පාදන කිරීම මගින් මෙම පාඩුව යම් ප්‍රමාණයක් හෝ අඩු කරගත හැකි වනු ඇති බවයි. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ ගෘහභාණ්ඩ නිශ්පාදනය පිළිබඳ නිසි දැනුමක් ඇති සේවකයන් නොමැති වීමත් වෙළඳපොලේදී පෞද්ගලික අංශය සමග තරඟ කිරීමට සිදු වීමත් මෙයට බලපා ඇති බවයි. නමුත් රාජ්‍ය දැව සංස්ථාව ලෙස ගෘහ භාණ්ඩ නිෂ්පාදනය නොකිරීම විශාල අඩුපාඩුවක් නිසා එය පවත්වාගෙන යන බවද එහිදී අනාවරණය විය. මෙහිදී සභාපතිවරයා අමාත්‍යාංශ‍ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ අදාළ නිලධාරින් සමග සාකච්ඡා කොට ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් එවන ලෙසයි.

චක්‍රලේඛ උපදෙස් වලට පටහැනිව සංස්ථාවේ සභාපතිගේ සහයට උපදේශකවරු දෙදෙනෙකු හා රියදුරුවරයෙකු අධ්‍යක්ෂ මණ්ඩල අනුමතිය සහිතව පමණක් බඳවා ගෙන තිබීම සම්බන්ධවද මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය. මෙහිදී එසේ බඳවා ගත් උපදේශකයින්ට දිනකට රුපියල් 2,850 බැගින් වූ දීමනාවක් 2019 පෙබරවාරි 12 සිට සැප්තැම්බර් 03 දක්වා දින 270කට රුපියල් 769,500 ගෙවා තිබිණි. මේ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමතිය ඉල්ලා තිබුණද එය ලැබී නොමැති නිසා කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ අදාළ සභාපතිවරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වන ලෙසයි.

සංස්ථාවට අයත් බූස්ස ප්‍රදර්ශනාගාරයේදී පවත්වනු ලැබූ මිල අඩු කිරීමේ ප්‍රදර්ශනයට රුපියල් 1,690,18 3ක් වටිනාකම වූ භාණ්ඩ සියයට 50ට වඩා මිල අඩු කර රුපියල් 707,710 කට නිර්දේශ කිරීම නිසා රුපියල් 982,473 ක පාඩුවක් සිදුවීම සම්බන්ධවද කමිටු‍වේ අවධානය යොමුවිය. මෙහිදී සංස්ථාවේ සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ ගෘහ භාණ්ඩ කාලයක් පැවතීම නිසා යම් දෝෂ සහිත තත්ත්වයට පත් වීම නිසා මෙවැනි තීරණයක් ගත් බවයි. මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ එසේ වට්ටම් ලබා දීම සාධාරණිකරණය කළ හැකි නම් ඒ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට විගණකාධිපති දෙපාර්තමේන්තුවට දන්වන ලෙසයි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජගත් පුෂ්පකුමාර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, මධුර විතානගේ මෙන්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.

 

1 2

3 4

5



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහත්වරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks