බලන්න

E   |   த   |  

2022-02-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු රාජ්‍යභාග නිසි පරිදි ගෙවන්න - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ‘කෝප්’ කමිටුවෙන් උපදෙස්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍ය භාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බවත්, එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ එයට සම්බන්ධ ජී. එස්. එම්. බී. තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගම ඊයේ (23) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව 2016 සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය විසින් රාජ්‍යභාග නිසි පරිදි එක්රැස් කොට තිබුණ ද රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිය යුතු ප්‍රමාණය සම්ප්‍රේෂණය නොකොට කාර්යාංශයට අයත් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තිබීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව 2016 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088 ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණි. මෙහිදී කෝප් සභාපතිවරයා දන්වා සිටියේ රාජ්‍යභාග නිසි පරිදි රාජ්‍යට ලැබිය යුතු බවයි.  

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුමත කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගෙන ඇති  ජී. එස්. එම්. බී. තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගමට අයත් සේවකයන් වෙත කාර්යාංශය මගින් වැටුප් ගෙවීම සම්බන්ධවද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණි. මෙහිදී කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උප‍දෙස් ලබා දුන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා කාර්යාංශයට සේවක අඩුපාඩුවක් පවතින්නේ නම් එය කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව වෙත දන්වා අදාළ අනුමැතිය සහිතව සපුරා ගන්නා ලෙසයි.

එමෙන්ම 2019 සැප්තැම්බර් 19 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/2019 ට අනුව කාර්යාංශයේ  තාවකාලික, අනියම්, දෛනික, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව පුළුල් කිරීමෙකින් තොරව, සේවකයන් ස්ථිර කිරිමේ හැකියාව ඇතැයි යන පදනම මත සේවකයන් 189 දෙනෙක් ස්ථිර කිරීම සම්බන්ධව ද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී කෝප් කමිටුව කාර්යාංශයේ සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නිර්දේශ කළේ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා සිය සේවක අවශ්‍යතාවය පිළිබඳ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නැවත දැනුවත් කර නිසි ක්‍රමවේදයට අනුකූලව අදාල ගැටලුව විසඳා ගන්නා ලෙසයි.

කාර්යාංශය විසින් රුපියල් 2,581,633ක් ගෙවා සකස් කරවාගත් සංයුක්ත සැලැස්ම අනුව 2019 – 2023 වර්ෂ සඳහා පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්ම නිසි පරිදි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට මෙතෙක් යොමු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු විය. කාර්යාංශ නිලධාරීන් සඳහන් කළේ ක්‍රියාකාරී සැලැස්ම මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

පසුගිය කාල වකවානුව තුළ කාර්යාංශය විසින් විගණන කමිටු රැස්වීම් පැවැත්වීම අවම වීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු වූ අතර, විගණන රැස්වීම් නිසි පරිදි පැවැත්විය යුතු බවටද කමිටුව අවධාරණය කළේය.

2019 සැප්තැම්බර් 18 දින භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට අදාළව පැවති කෝප් කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සම්බන්ධවද කෝප් සභාපතිවරයාගේ අවධානය යොමුවිය. මෙහිදී කමිටු සාමාජික මන්ත්‍රීවරයන් විසින් අවධාරණය කරන ලද්දේ එසේ කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම අනිවාර්ය බවයි.

මෙම තත්ත්වය මත කෝප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශක්තිමත් පිළිතුරක් ලබා දීමට නොහැකිවීම හේතුවෙන් මෙම විමර්ශනය මසකින් කල්තැබූ අතර, එනම් මසකට පසු ඉහත ආයතන ද්විත්වය නැවත කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබේ.

එයට අමතරව නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව සභාගත කිරිම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්ගේ අනුමැතියට ඉදිරිපත් කෙරිණි. පළමු සභාවාරයේ තුන්වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර එය එළඹෙන 25 වැනිදා සභාගත  කිරීමට කමිටු සාමාජික මන්ත්‍රීවයන්ගේ එකඟතාවය හිමි විය.

මෙම රැස්වීමට අමාත්‍ය ගරු මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඉන්දික අනුරුද්ධ, ගරු නාලක ගොඩහේවා, සමාජික මන්ත්‍රීවරයන් වන ගරු සුසිල් ප්‍රේමජයන්ත, ගරු ජගත් පුෂ්පකුමාර, ගරු චම්පික රණවක, ගරු හර්ෂ ද සිල්වා, ගරු එරාන් වික්‍රමරත්න, ගරු නලීන් බණ්ඩාර, ගරු මධුර විතානගේ, ගරු ප්‍රෙම්නාත් සී. දොලවත්ත සහ ශානක්කියන් රාසමානික්කම් යන මහත්වරු සහභාගී වූ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිරීක්ෂණ මට්ටමින් සහභාගී විය.

පරිසර අමාත්‍යාශයේ ලේකම්වරයා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහ සම්බන්ධ ජී. එස්. එම්. බී. තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගමේ නිලධාරිහු පිරිසක්ද කෝප් රැස්වීමට සහභාගී වූහ.

 

1 2

3 4

5

 

 



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහත්වරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks