බලන්න

E   |   த   |  

2022-02-17

පුවත් කාණ්ඩ : පුවත් 

“පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට” වැඩසටහනේ පළමු පියවර කොළඹ මහජන පුස්තකාලයේදී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව, “පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට”  වැඩසටහනෙහි සමාරම්භය පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේදි සිදුවිය. පාර්ලිමේන්තුව අරබයා  රචිත  ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන කට්ටල දිවයිනම ආවරණය වන පරිදි මහජන හා පාසල් පුස්තකාල වෙත බෙදා හැරීම මෙම වැඩසටහනේ අරමුණයි.  

මෙම අවස්ථාවට මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනි වරුණි ගඟබඩආරච්චි මහත්මිය, නියෝජ්‍ය  පුස්තකාලයාධිපතිනි චින්තා අයිලප්පෙරුම මහත්මිය , පුස්තකාලයේ සෙසු නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ  සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සම්බන්ධ වූ අතර මෙම කාර්යය  පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එච්. ඊ. ජනකාන්ත සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සිදුවිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික වටිනාකම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, කාරක සභා ක්‍රමය  මෙන්ම අතීතයේ  සමාජයීය, දේශපාලනික පෙරළියන් හමුවේ පාර්ලිමේන්තුව ආ දීර්ඝ මග පිළිබඳව රචිත කෘති සහ අත්පත්‍රිකා කට්ටලයක් මෙසේ දිවයින පුරා පුස්තකාල සහ ආයතන වෙත බෙදාහැරීම පාර්ලිමේන්තුව වඩාත් මහජනයා වෙත සමීපස්ථ වීමෙහි තවත් එක් පියවරකි.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ උපදේශකත්වයෙන් ඇරඹුණු  මෙම  ක්‍රියාවලියෙහි සක්‍රීය පාර්ශවකරුවකු වීමට ඔබ/ඔබේ පුස්තකාලය සූදානමින් සිටින්නේ නම් පහත දුරකතන මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, සන්නිවේදන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකිය.


පාර්ලිමේන්තුවේ මහජන සේවා අංශය - 0112777138
ජෙය ප්‍රකාශ් (මහජන සේවා සම්බන්ධීකාරක) - 0715352672

 

12

34

5



සම්බන්ධිත පුවත්

2026-11-18

බෝ නොවන රෝග සඳහා දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කළ ප්‍රතිකාර සේවා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හරහා

දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කරමින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සේවා සැපයීම,  ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ මෙම ඒකාබද්ධ සත්කාර සේවාව, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.  මාංශපේශී හා අස්ථි සන්ධි ආශ්‍රිත වේදනා කළමනාකරණය (Musculoskeletal Pain Management) සඳහා දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කළ ප්‍රතිකාර වැඩසටහන පසුගිය මාස 08 කට ආසන්න කාලයක් මෙලෙස ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව (2023-2033) මඟින් බෝ නොවන රෝග සේවා සැපයීමේ ඒකාබද්ධ ප්‍රවේශයේ කොටසක් ලෙස දේශීය වෛද්‍ය අංශය පැහැදිලිව හඳුනාගෙන ඇති බව කියා සිටි අමාත්‍යවරයා රෝගී සත්කාරක සේවාවන් පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු සහ පළාත් පාලන දෙපාර්තමේන්තු මඟින් සිදු කරන බව අවධාරණය කළේය. එහිදී දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථූලතාවය සහ ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන බවද පැවසීය.‍එසේම පාකින්සනිස්ම (Parkinsonism) සඳහා සාමාන්‍ය උපදෙස් ගැනීම් සහ ආධාරක සිද්ධ වෛද්‍ය සේවා ලබා ගත හැකි අතර මොළයේ අංශභාගය (Cerebral palsy) සහ ඩවුන් සින්ඩ්‍රෝමය (Down syndrome) සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම ආයතන මඟින් ආධාරක පුනරුත්ථාපන වැඩසටහන් ලබා ගත හැකි බවත් පිළිකා සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් පෝෂණ උපදෙස්, ආධාරක සත්කාර සහ පුනරුත්ථාපනය ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.වැඩිහිටි රෝගීන් දුර බැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීම අවම කිරීම සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම සෞඛ්‍ය ආයතන මඟින්, ඇතැම් පළාත් තුළ වැඩිහිටි නිවාස මට්ටමින්, ප්‍රජා මූලික වෛද්‍ය සේවා මඟින්, ප්‍රජා වෛද්‍ය නිලධාරීන් (CMOs) මඟින් ග්‍රාමීය මට්ටමින්, ප්‍රජා සෞඛ්‍ය සත්කාර සේවා මඟින්, පළාත් මට්ටමින් ආයුර්වේද සිද්ධ සහ යුනානි වෛද්‍ය ක්‍රම මඟින් වැඩිහිටි සත්කාර සේවා සැපයීම, වෛද්‍ය සභාව මඟින් ලියාපදිංචි වන පාරම්පරික වෛද්‍යවරුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සහ පළාත් සභා මඟින් සේවා සැපයීම සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය මඟින් පළාත් මට්ටමින්, පළාත් 06 ක වැඩිහිටි සත්කාර සේවා පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදී ක්‍රමවේද මඟින් වැඩිහිටි රෝගී සේවා සපයනු ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


2026-11-16

කොරියානු පාර්ලිමේන්තු දූත පිරිසක් නියෝජ්‍ය කථානායකවරයා හමුවෙති - දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා

කොරියානු ජනරජයේ ජාතික සභාව නියෝජනය කරමින්, ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ (CPE) දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවූහ.පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ජනගහන ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ ආර්ථික හුවමාරු යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.කොරියානු දූත පිරිස කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සභාපති සහ ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ උප සභාපති ගරු ලී යැං-සු (Lee Yang-soo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණියහ. එම දූත පිරිසට එම ලීගයේ සාමාජික ගරු ක්වාක් සෑං-ඊඔන් (Kwak Sang-eon) මහතා, කොරියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ගරු කිම් සෝ-හී (Kim So-hee) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ගරු යූන්-ජුං කිම් (Youn-Jung Kim) මහත්මිය ද ඇතුළත් වූහ. 1989 වසරේදී පිහිටුවන ලද ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගය, දේශගුණික විපර්යාස, ජනගහනය සහ ළමා සුබසාධනය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරීම සැලකිල්ලට ගනිමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධානය යොමු කළේය. විශේෂයෙන්ම, දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සහ කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවූ සැලකිය යුතු හානි පිළිබඳව ඔහු සඳහන් කළේය.එමෙන්ම, උපත් අනුපාතය පහළ යාම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ජනගහන අභියෝග පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළේය. මෙම තත්ත්වයන් අනාගතයේදී යැපෙන්නන්ගේ අනුපාතයට සහ ශ්‍රම බලකාය සපයා ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ එය ශක්තිමත් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.කොරියානු ජනරජය තුළ පහළ යන උපත් අනුපාතයට මුහුණදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින්, කොරියානු නියෝජිතයෝ අලුත විවාහ වූ යුවළ සඳහා දැරිය හැකි කුලී නිවාස යෝජනා ක්‍රම, අඩු පොලී ණය සහ නිවාස දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් පැහැදිලි කළහ.විශ්‍රාම වැටුප් ආවරණයේ පවතින හිඩැස් අවම කිරීම සඳහා විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනා පිළිබඳව ද දූත පිරිස අදහස් පළ කළහ. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තරුණ පරපුරට ප්‍රමාණවත් රැකියා අවස්ථා සහතික කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.ආර්ථික සංවර්ධනය සමඟ පරිසර ආරක්ෂාවට ද ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. ස්වාභාවික ආපදා හේතුවෙන් වසර ගණනාවක් පුරා අත්කරගත් ආර්ථික ප්‍රගතියට හානි සිදුවිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.ශ්‍රී ලංකාව තුළ කොරියානු සංස්කෘතිය, විශේෂයෙන්ම කොරියානු පොප් සංගීතය ජනප්‍රිය වීම සහ දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගත හැකි තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථාවල ප්‍රතිලාභ පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ. එම පුහුණු අවස්ථා මඟින් වෘත්තීය කුසලතා වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට ද ආර්ථික ප්‍රතිලාභ හිමිවන බව මෙහිදී සඳහන් විය.ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත පරිසරය හා සංවර්ධනය පිළිබඳ ආසියා – පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවට (APPCED) සහභාගී වන ලෙස කොරියානු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආරාධනා කළහ. එම සමුළුවේදී කොරියාව රටවල් කිහිපයක් වෙනුවෙන් සභාපතිත්වය දරනු ඇත.එසේම, ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සඳහා කොරියානු ව්‍යාපාරික ආයතනවල සහභාගීත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.


2026-11-16

උතුරේ හා නැගෙනහිර අත්අඩංගුවට ගත් හා භාර වූ පුද්ගලයන් 12,196 ක් පුනරුත්ථාපනය කර සමාජගත කරයි

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටුම් පැවති සමයේ සහ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් හෝ භාර වූ පුද්ගලයන් 12,196 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන, යෝගා සහ ආධ්‍යාත්මික වැඩසටහන්, මූලික අධ්‍යාපන හා භාෂා පුහුණු වැඩසටහන් මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමේ වැඩසටහන් මෙන්ම චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව ඇතුළත් සෞන්දර්ය වැඩසටහන්, රියදුරු පුහුණුව සහ ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇති බවත්, එම පුහුණුවට අදාළ උපකරණ සහ වෙනත් ආධාර ද ලබා දී  තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.එමෙන්ම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ණය මුදල්, නිවාස, මහන මැෂින්, ධීවර දැල්, පාපැදි, ජල පොම්ප, වඩු උපකරණ, සැකසුම් උපකරණ, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් සහ ත්‍රීරෝද රථ ඇතුළු ආධාර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සභාගත කළ වාර්තාවේ සඳහන් වේ.


2026-11-16

ස්වේච්ඡා ගුරුවරුන් 4,700 ක් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් අනතුරුව නැවතත් ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නැහැ - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

ස්වේච්ඡා ගුරුවරුන් 4,700 ක් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් අනතුරුව නැවත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. දිවයිනේ විවිධ පළාත්වල පිහිටි පාසල්වල මේ වන විට ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරනු ලබන ගුරුවරුන් 4700 ක් ගුරු සහායකයින් ලෙස පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල තීරණය අනුව බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත්, එය 2007.01.04 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක/06/2282/229/085-II අනුව සිදු වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගුරු සහායක ලෙස බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුරු නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත් සඳහා පත් කිරීමට අනුමැතිය ලද ඉහත සඳහන් 4700 ක් වන ස්වේච්ඡා ගුරුවරුන් සංඛ්‍යාවෙන්, 462 දෙනෙකු උතුරු නැගෙනහිර පළාතට පත් කිරීමට අනුමැතිය ලබා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks