02

E   |   த   |  

2021-12-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඇ.ඩො. 3000 දක්වා මැණික් ඇනවුම් ඔන්ලයින් හරහා සිදු කිරීමේ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

වටිනාකම ඇ.ඩො. 3000 දක්වා වන  මැණික්  අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයට සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (06) හිමිවිය.
 
පවතින කොවිඩ් තත්ත්වය මත සංචරණ කටයුතු සීමා වීම නිසා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සදහා මෙම පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් අයකරනු ලැබූ සියයට 0.5 ක ගාස්තුව සියයට 0.25 දක්වා අඩු කිරීමද මෙම ගැසට් පත්‍රය මගින් සිදුවී ඇත.

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් අංක 2165/2 දරන ගැසට් පත්‍රයට මෙලෙස කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

කර්මාන්ත කටයුතු අමාත්‍ය ගරු විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවති කාරක සභා රැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු නිලධාරිහු සහභාගී වූහ.

රත්නපුර ‘වේ ගඟ’ ආශ්‍රිතව මැණික් ගැරීම සදහා දියත් කළ ව්‍යාපෘතිය, ඇති වූ විරෝධයක් හේතුවෙන් දැනට නතර වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව විශේෂ සංවර්ධන කමිටු රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා කොට රටටත් විශාල ආදායමක් හිමිවන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පෙන්වා දුන්නේය.

ඇළහැර ප්‍රදේශයේ මැණික් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීමෙන් සාමාන්‍ය ජනතාවටද මැණික් ගැරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පවතින හැකියාව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. ලබන ජනවාරියේ සිට මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.  

දිවයිනේ විවිධ කර්මාන්තපුරයන් සහ කර්මාන්තයන් ආශ්‍රිතව ඇති ගැටලු පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවේ අවධානය යොමු කළහ. අදාළ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ඒවාට කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙසත් නොඑසේ නම් ඒ පිළිබඳව ඉදිරි කාරක සභාවට අදාළ සවිස්තරාත්මක වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

 

1 2

3

 



සම්බන්ධිත පුවත්

2026-10-15

වතු හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

වතු හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, ගරු වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.මෙහිදී වතුකරයේ පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කළහ. වතු ඉඩම්වල භාවිතයට නොගන්නා කොටස් ප්‍රයෝජනයට ගැනීම, වතුකරයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු සහ ඔවුන්ට නිවාස පහසුකම් සලසා දීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.වතු හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-10-15

කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය, ව්‍යාපාර සහ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) සඳහා ලබා දී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ  ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 08) පාර්ලිමේන්තුවේදී රැස් වු කාරක සභාව හමුවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ අදාළ නීතිමය හා පරිපාලනමය කරුණු පිළිබඳව අවධානය යොමු විය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ  සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ  චම්පික හෙට්ටිආරච්චි යන මහත්මවරු  සහභාගී වූහ.මෙහිදී මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) ලෙස මෑතකදී ගැසට් කර ඇති ව්‍යාපාර සහ ඉදිරි ආයෝජන සැලසුම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙන්ම වරාය නගරයේ මහල් නිවාස සංකීර්ණ  ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඒවා අලෙවි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.කොළඹ ප්‍රධාන වාණිජ කලාපයට ආසන්න ප්‍රදේශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දී ඇති බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 6ක් බදු දීම සඳහා අවශ්‍ය සැලසුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද ඔවුහු සඳහන් කළහ.තවද, රජයට අයත් ඉඩම් කොටස් 4ක්, (මුළු ඉඩම් වෙන් කිරීමෙන් 1/7 ක ප්‍රමාණයක්), වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව නිලධාරීහු පැවසූහ. මේ දක්වා බදු දී ඇත්තේ CHEC Port City Colombo (Pvt) Ltd සමාගමට අයත් ඉඩම් කොටස් පමණක් බව ද ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කළහ.මෙම ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර, එහි සාමාන්‍ය වටිනාකම වර්ග මීටරයකට ඇමරිකානු ඩොලර් 3,000ක් වන බව නිලධාරීහු සඳහන් කළහ. එසේම, (මුළු කල්බදු මුදලින් 1% කට සමාන)  රුපියල් මිලියන 398ක මුදලක් මේ වන විට කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව ද ඔවුහු වැඩිදුරටත්  පෙන්වා දුන්හ.වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රතිලාභී හිමිකාරීත්වය හඳුනා ගැනීම, විදේශීය ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මූල්‍ය විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර ඇති නියාමන ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාව විමසා බැලීය. එමෙන්ම, විදේශීය ශ්‍රමිකයන් සඳහා වීසා නිර්දේශ නිකුත් කිරීම සහ ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කොමිෂන් සභාවේ නිර්දේශ මත විදේශිකයන් සඳහා වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බවට ඉදිරිපත් වූ තොරතුරු සැලකිල්ලට ගනිමින් අධීක්ෂණය කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. වරාය නගරය තුළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා අදාළ නියාමන කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.මහල් නිවාස සංකීර්ණ සහ නේවාසික ව්‍යාපෘති සඳහා නිවාස මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ආයෝජකයන් විසින් සිදුකරනු ලබන පූර්ව ගෙවීම් වල (Pre-Sale Deposits) ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි. එහිදී, විදේශීය ආයෝජකයන්ගෙන් ලබා ගන්නා එම මුදල් අදාළ ව්‍යාපෘති සඳහාම යෙදවීම සහ ඒවායේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන එස්ක්‍රෝ (Escrow) ගිණුම් ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය.එමෙන්ම  වරාය නගරයට ලැබී ඇති සැබෑ විදේශීය ආයෝජන ප්‍රමාණය, අනුමත ව්‍යාපාරවල වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඒවා මඟින් අපේක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය කර තිබේද යන්න පිළිබඳව ද තොරතුරුද  කාරක සභාවේ සාකච්ඡා විය.


2026-10-14

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු  අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දෙන ලදී.ඒ,මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මින් පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි වාර්තාවන් ද ඇතුළත්ව  ඒවා සම්බන්ධයෙන්  ගැඹුරින් සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා උක්ත විද්වත් කමිටුව පත් කෙරිණි. වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්,  සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති  සමන් ශ්‍රී රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ  සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සාමාජිකයන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා , යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාර දී ඇති බව පැවසුවේය.මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක්  විසින් ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.අතුරු  වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද, රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබේ.එමෙන්ම, මහජන අදහස් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්‍ය නම් සිය පෞද්ගලික යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව  පවතින  බව ද  කාරක සභාව විසින් අවධාරණය  කරන ලදී.මෙම රැස්වීමෙන් අනතුරුව, කාරක සභාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ගරු සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන ලදී.මෙම කාරක සභා රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලාෆර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-10-08

NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සහ අවසන් විගණන වාර්තාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් විමසීමක්

NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල මතු වූ අසාමාන්‍යතා, විගණන ක්‍රියාවලියේ පැවති අඩුපාඩු සහ අදාළ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස් සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන් නිරීක්ෂණ මණ්ඩලය (SLAAMB) විසින් සිදු කර ඇති විමර්ශනයේ සොයා ගැනීම් සහ Deloitte Touche Tohmatsu India LLPආයතනය විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පිළිබඳවද අවධානය යොමු විය. විශේෂයෙන්ම NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල පැවති අසාමාන්‍යතා හඳුනා ගැනීමට බාහිර විගණකවරුන් අසමත් වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලීය.අදාළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.එමෙන්ම, NDB බැංකුවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් රාජ්‍ය හා මහජන අරමුදල් නියෝජනය කරන ආයතන සතු බැවින්, මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවලින් රාජ්‍ය අරමුදල්වලට සහ මහජනතාවට සිදු විය හැකි බලපෑම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.මූල්‍ය පද්ධතිය තුළ සිදුවන වංචා වැළැක්වීම සඳහා LankaPay මඟින් මධ්‍යගත වංචා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කළ අතර  එක් එක් බැංකුව තුළ සිදු වන ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා බැංකු මට්ටමින් වංචා නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.ඒ අනුව, NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතාව පිලිබඳ  අවසන් විගණන වාර්තාවේ පහත නිරීක්ෂණ ඇතුළත් වේ.1. මෙම විගණනය 2016.04.01 සිට 2026.03.31 දක්වා වූ කාලසීමාව ආවරණය කරයි. රු. 13,639,664,684/- (රු. බිලියන 13.6) ක වටිනාකමකින් යුත් වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම මෙම විගණන වාර්තාව මගින් නිශ්චිතව දක්වා ඇත.2. 2026.09.29 දින සිදු කරන ලද හෙළිදරව්වට අනුව, වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම පහත පරිදි වේ.•    2025.01.01 ට පෙර කාලසීමාව සඳහා රු. බිලියන 1.5 ක් •    2025 වර්ෂය තුළ රු. බිලියන 9.6 ක් •    2026.03.31 න් අවසන් වූ කාර්තුව සඳහා රු. බිලියන 2.5 ක්3. 2026.04.06 දින NDB විසින් සිදු කරන ලද මූලික හෙළිදරව්ව හා සසඳන විට, වාර්තා වූ වංචා මුදල රු. බිලියන 13.2 සිට රු. බිලියන 13.6 දක්වා රු. බිලියන 0.4 කින් ඉහළ ගොස් ඇත. 2026.06.22 දිනැති අතුරු වාර්තාව මත පදනම්ව 2026.06.26 දින NDB විසින් හෙළිදරව් කරන ලද මුදල හා සසඳන විට, මෙම අතිරේක වංචා මුදල රු. මිලියන 60 කි.4. මෙම වංචා සිදුවීම හේතුවෙන් කිසිදු පාරිභෝගික ගිණුමකට බලපෑමක් සිදු නොවූ බවට මීට පෙර සිදු කළ හෙළිදරව් කිරීම් අවසාන විගණන වාර්තාව මගින් ද තහවුරු කර ඇත.5. CEFT ගනුදෙනු සැකසීම, මූලික බැංකුකරණ පද්ධතියේ (Core Banking system) පරිශීලක මට්ටමේ ක්‍රියාකාරකම් (user activities) සහ පරිශීලක ප්‍රවේශ තොරතුරු (user credentials) කළමනාකරණයට අදාළව NDB හි පාලන ව්‍යුහ (governance) අසාර්ථකත්වයන් කිහිපයක් මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත. මීට අමතරව, ගනුදෙනු අධීක්ෂණය( transaction monitoring), දෛනික ගිණුම් සැසඳීමේ ක්‍රියාවලිය (reconciliation), මූල්‍ය අනුකූලතාව (compliance), අභ්‍යන්තර විගණනය, ශාඛා ජාල කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය (operational risk management) වැනි ක්‍රියාකාරී ක්ෂේත්‍ර කිහිපයක ද අඩුපාඩු හඳුනාගෙන ති‌බේ.6. බැංකුවේ ඉහත සඳහන් ක්‍රියාකාරකම් තුළ පාලන ක්‍රමවේද, පාලන ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිර්දේශ මෙම විගණන වාර්තාව මගින් ලබා දී ඇත.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks