පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-11-29
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා (27) දැනුම් දුන්නේය.
ඇතැම් රෝහල් වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර, ඇතැම් ග්‍රාමීය රෝහල් වල වෛද්‍ය හිඟයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මඟින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුවත්, පළාත් සභා යටතේ ඇති විෂයන් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය සමඟ ගැටෙන බැවින් එය ගැටලු සහගත බව හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සුදුසු බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය කාලය තුළ විටින් විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන රැල්ලක් ඇති වූ බැවින්, වැටුප් ඉහළ නැංවීමේදී පොදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
ඉකුත් වසර කිහිපය තුළ මෙරටට ඖෂධ වර්ග රැසක් වැඩියෙන් ආනයනය කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වූ අතර, ඇතැම් වර්ෂවල අධි ප්‍රතිශතයන්ගෙන් මෙරටට ඖෂධ ආනයනය කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන මහතා කීවේය.
ඖෂධ වලට අදාළව ජාතික තොරතුරු පද්ධතියක් ආරම්භ කරන බවත්, දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්පිටිය මූලික රෝහලේ මේ වන විට අඩුපාඩු රැසක් පවතින බවත්, එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට ක්‍රියා කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය.
පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකර විවෘත කළද එය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු ඊට අදාළව ක්‍රියාත්මක දත්ත පද්ධතියට ඇතුළත් නොවීම සම්බන්ධ ගැටළුවක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවට ඉදිරිපත් කළේය. පවතින එම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට දැනුම් දුන්නේය.
ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට 1990 සුව සැරිය ගිලන් රථ සේවයට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව හතලිස් හය ලක්ෂ තිස්තුන් දහසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කාරක සභාවේදී පැවසීය. එම සේවය සඳහා 2022 වසර වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 1800 ක් බවත්, එය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉල්ලුම් කළ පරිදි අවම වශයෙන් තවත් මිලියන 1200 කින් වත් එම මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ජා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.
එමෙන්ම ආයුර්වේද උපාධිධාරින් 719 ක් රැකියා විරහිතව සිටින බව ද මෙම කාරක සභාවේදී අනාවරණය විය. ප්‍රාදේශීය වශයෙන් ආයුර්වේද බෙහෙත් ශාලා ආරම්භ කර, ඔවුන්ට පත්වීම් ලබා දීමට සැලසුමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී කීවේය.
මෙම කාරක සභාවට ගරු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 20 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.
2026-08-24
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා පැවති මෙම රැස්වීමේදී, විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට නඩු පැවරීම දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය මෙන්ම, ඒ සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු ප්‍රමාද වීම, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් සහ එමගින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද අවධානය යොමු විය.මත්ද්‍රව්‍ය මර්දනයේදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සහ ඒවාට සම්බන්ධ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු හඳුනාගෙන පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම දුරකථන සමාගම් මගින් ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සඳහා අවභාවිත කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියාමන ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.තවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම, අපරාධ වැළැක්වීම සඳහා මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම සහ පවතින නීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.එමෙන්ම, අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් විය. විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කඩිනම් කිරීම මඟින් නඩු කටයුතු වේගවත් කර බන්ධනාගාර තදබදය අවම කිරීමට හැකි වනු ඇති බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය, වෘත්තීය පුහුණුව සහ විමර්ශන කුසලතා ඉහළ නැංවීම මෙන්ම පොලිස් කාර්ය සාධනය ඇගයීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ චන්දන සූරියආරච්චි සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-08-24
• මූල්‍ය පරිපාලනය, අපජල කළමනාකරණය සහ පර්යේෂණ දීමනා පිළිබඳව අවධානයපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 19) පාර්ලිමේන්තුවේදී රැස්විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මේ මස 05 වැනිදා ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය COPE කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එම සාකච්ඡාවේ දිගුවක් ලෙස දෙවැනි දිනටත් මෙසේ රැස් වුණි. මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය පරිපාලනය, අපජල කළමනාකරණය, පර්යේෂණ දීමනා ගෙවීම, ආයතනික පාලනය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලයේ අපජල පද්ධතිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ අතර, නේවාසිකාගාර කිහිපයකින් බැහැර වන අපජලය මුදාහැරීම හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව සාකච්ඡා කෙරිණි. අපජල පද්ධතිය මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් මුල් ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 464 සිට රුපියල් බිලියන 1.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා ජයිකා ආයතනය හරහා රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන ලබාගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.විශ්වවිද්‍යාලය සතුව පවතින බැංකු ගිණුම් 68ක් සහ විවිධ අරමුදල්වලට අදාළ ගිණුම් විශාල සංඛ්‍යාවක් පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. ඇතැම් ව්‍යාපෘති අවසන් වීමෙන් පසුවද ඒවාට අදාළ ගිණුම් වසා නොදමා පවත්වාගෙන යාම සහ අරමුදල් පිළිබඳ තොරතුරු මධ්‍යගතව නිරීක්ෂණය නොවීම සම්බන්ධයෙන් කාරක සභාව කරුණු විමසා සිටියේය.පර්යේෂණ දීමනා ගෙවීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව සහ පර්යේෂණ වාර්තා ලබා ගැනීමකින් තොරව අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති බව සාකච්ඡාවේදී අනාවරණය විය. එම නිලධාරීන් අතරින් 28 දෙනෙකු 2023 ජුනි 30 වන විටත් අදාළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබූ බවද සඳහන් විය.පර්යේෂණ දීමනා පර්යේෂණ කටයුතු සඳහාම යොදාගැනීම සහ ඒ සඳහා නියමිත ක්‍රමවේදයට අනුව පර්යේෂණ යෝජනා, ප්‍රගති වාර්තා සහ අවසන් වාර්තා ලබාගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය. පර්යේෂණ කටයුතු දිරිමත් කළ යුතු වුවද, පර්යේෂණ දීමනා අමතර වැටුපක් ලෙස භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද කාරක සභාව පෙන්වා දුන්නේය.තවද, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ (DMS) අනුමැතියකින් තොරව පවතින තනතුරු සහ සිදුකර ඇති දීමනා ගෙවීම් සම්බන්ධයෙන්ද කරුණු විමසන ලදී. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි සහ පවතින නීති රීතිවලට අනුකූල නොවන සියලුම තනතුරු හා ගෙවීම් නීත්‍යානුකූලව නිරවුල් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මේ අතර, විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන සැලසුම් පැහැදිලි කාර්ය සාධන දර්ශක (KPIs) සහිතව සකස් කිරීමේ අවශ්‍යතාවද COPE කාරක සභාව අවධාරණය කළේය. අපජල හා කසළ කළමනාකරණය, නව සායනික බ්ලොක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.අදාළ විගණන විමසුම් සඳහා නිශ්චිත හා සෘජු පිළිතුරු ලබාදීම, සියලු අරමුදල් හා ගිණුම් පිළිබඳ නිසි මූල්‍ය තොරතුරු අනාවරණය කිරීම සහ විගණන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් රාජපක්ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, සමන්මලී ගුණසිංහ, නීතීඥ නිලන්ති කොට්ටහච්චි, තිලිණ සමරකෝන්, සුදත් බලගල්ල සහ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රගීත් මධුරංග යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-21
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන “Voice to Policy” සංවාදමය ප්‍රාදේශීය වැඩසටහන් මාලාවේ දෙවැන්න මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා අගෝස්තු 29 වැනිදා මඩකලපුව ‘East Lagoon’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 19) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි. තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරෙන අතර සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට අගොස්තු 24 දිනට පෙර ලියාපදිංචි විය විය යුතුය. එසේම සහභාගී වන්නන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් හෝ ප්‍රවර්ධනය කරන සංකේතවලින් තොර ඇඳුමින් සැරසී සිටිය යුතු බවත් සංසදය විසින් දැනුම් දෙන ලදී. මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු මාලාව සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ එක්ව සිටියහ.එසේම මෙම රැස්වීමේදී ‘INTER Pares’ ව්‍යාපෘතියේ නියෝජිතයන් සමග මාර්ගගත තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති අතර සංසදයේ ඉදිරි වැඩසටහන් සඳහා එම ආයතනයේ සහය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. එම සාකච්ඡාවේ සම්බන්ධීකරණය සඳහා දායකත්වය දුන් Westminster Foundation for Democracy (WFD) හි මෙරට නියෝජිත සංජය විග්නරාජා මහතා ද මෙම අවස්ථාවට එක්විය.
2026-08-18
අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල/ ආයතන තුනක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ පත් කිරීම, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙස එස්.ඒ.එම්. පීරිස් මහතාගේ පත් කිරීම, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිවරයා ලෙස එච්.එම්.පී. රත්නායක මහතා පත් කිරීම සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය ලෙස (ආචාර්ය) ඩබ්ලිව්.එම්.වී. වනසිංහ මහත්මිය පත් කිරීම කාරක සභාව විසින් අනුමත කරන ලදී.ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට, ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර ජයකොඩි සහ නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරු ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks






