පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-10-26
පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පසුගියදා (22) පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) පැවසීය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්ත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවත් සුරාබදු අධ්යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය.
ඒ මහතා මේ බව පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සදහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදීය.
සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිගණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමවකදී නිර්දේශ ලබාදී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
තවද දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායම ගණනය කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කිරීමට අදාළව පරිගණක මෘදුකාංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළ අතර 2016 වර්ෂයේ සිට 2018 වර්ෂය සදහා අයවැය සහ පරිපූරක මගින් ප්‍රතිපාදන වෙන් වී තිබුණද එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම පිළිබඳව ද අවධානය මෙහිදී යොමු විය. මේ අනුව දෙපාර්තමේන්තුව අයත් සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ද ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදී.
මේ වන විට පරිගණක පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා කටයුතු ආරම්භ කර ඇති බව සුරාබදු අධ්යක්ෂ ජනරාල්වරයා කමිටුවට දන්වා සිටියේය. එහිදී කමිටුව සුරාබදු අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර සිටියේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට අදාළ කාල රාමුව නිශ්චිත සැලැස්මක් සහිතව නොවැම්බර් 05 වනදාට පෙර කඩිනමින් කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.
රජයේ ආදායම් වර්ධනය කිරීම සදහා මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්රිත නිෂ්පාදන සදහා වන ආරක්ෂිත ස්ටිකර් සැපයීම හා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතියක් සැකසීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. ප්‍රධාන නිෂ්පාදන සමාගම් විසින් ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබීම, පවතින කොවිඩ් තත්ත්වය ඇතුළු කරුණු කාරණා නිසා මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූ අතර මෙම කටයුතු කඩිනම් කරන ලෙස කෝපා සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා පෙන්වා දුන්නේ රජයට තෙවැනි ඉහළම ආදායම ලබා දෙන සුරා බදු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු නිසි ආදායම ලබා ගැනීමට නම් උක්ත සදහන් කළ ව්‍යාපෘති කඩිනම් කළ යුතු බවයි. මීට පෙර ද කෝපා කමිටුව විසින් ලබාදී ඇති මෙම නිර්දේශ තවදුරටත් ප්‍රමාද නොකොට කඩිනමින් ඉටුකිරීමේ අවශ්‍යතාව කමිටුවේදී දැඩිව අවධාරණය කෙරිණි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, ෆයිසාල් කාසිම් සහ බී.වයි.ජී. රත්නසේකර යන මහත්ම මහත්මීහූ ද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-11-18
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-18
ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-17
පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහත්වරු එක්ව සිටියහ.
2026-11-17
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



