E   |   த   |  

2021-10-22

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් 2022 අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

  • ‘කෝපා කමිටු’ වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදය ලබන 09 වැනිදා
  • නොවැම්බර් 08 වැනි සඳුදා සිට දෙසැම්බර් 10 සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වෙයි

 

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

ගරු කථානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව සලකා බැලුණු අතර ඒඅනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවී තිබේ.

මේ අතර නොවැම්බර් 09 වැනි අඟහරුවාදා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද මෙහිදී තීරණය විය. පසුගිය ජූලි 20, ඔක්තෝබර් 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා ත්‍රිත්වයට අදාළව රජය විසින්  ගෙන එන යෝජනාවක් ලෙස මෙම සභාව කල් තැබීමේ විවාදය එදින පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

තවද ලබන 08 වැනි සදුදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස සම්පූර්ණ දිනයම චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත. මේ අනුව පැවති කොවිඩ් තත්ත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීම් සීමා කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවේදී ඇසීම‍ට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහා මෙදින පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කර ඇත.

මේ අනුව ලබන 08, 09, 10, 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 12 වැනි සිකුරාදා ප.ව. 2.00 ට “2022 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම” (අයවැය කථාව) ගරු මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.

නොවැම්බර් 10 වන බදාදා පෙ.ව. 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙ.ව. 10.30 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට පෙ.ව. 4.30 දක්වා  2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සඳහා වූ   විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කොට සම්මත කරගැනීමට නියමිතය.

නොවැම්බර් 11 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 දක්වා කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනේ.

නොවැම්බර් 10 සහ 11 යන දෙදිනම ‍ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර ප.ව. 4.50 සිට ප.ව. 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමටත් වෙන් කර ඇත.



සම්බන්ධිත පුවත්

2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-20

මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 05 ක් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්,  බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්‍රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


2026-11-20

පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග රැසක්

පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමේ අරමුණින් “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 2023 වසරේ සිදු කරන ලද සංගණනය අනුව 29.47% ක් බැවින් පැරිස් ගිවිසුම අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 32% දක්වා ඉහළ දැමිය යුතුව ඇත. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය ලෙස පියවර ගණනාවක් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් වැඩිම වන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයට හිමි අතර එය 62.20% කි. අඩුම වන ඝනත්වය වන 2.05% ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. මෙලෙස, පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව, රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ 'වනස්පති' වැඩසටහන යටතේ පසුගිය වසර දෙකක කාලයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර 113 ට හෙක්ටයාර 71990.26 ක් ඇතුළත් වෙයි. මීට අමතරව, රට තුළ සිදුවන වන විනාශය ඇතුළු වන අපරාධ වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් 2025 නොවැම්බර් මාසයේ සිට 'වන සුරැකුම' නමින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. එම විශේෂ මෙහෙයුම යටතේ 2025 නොවැම්බර් 03 සිට 2026 ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ සිදුවීම් 701 ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදුවීම් 216 කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද සඳහන් වෙයි.වන ආවරණය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අතර, වනාන්තර ආශ්‍රිතව සිදු වන සතුන්ගේ තණ උලාකෑම හා කොළ අතු ආහාරයට ගැනීමෙන් ඇතිවන බලපෑම් මෙන්ම ගිනි තර්ජන පාලනය කරමින් ස්වාභාවික පුනර්ජනනයට අවස්ථාව සැලසීම, දේශීය ශාක විශේෂ රෝපණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීමට  හා පාලනය කිරීමට කටයුතු කෙරෙයි.ජාතික වන ආවරණ සිතියම යාවත්කාලීන කිරීම මඟින් වන ආවරණයේ සිදුවන වෙනස්කම් හඳුනාගෙන අධීක්ෂණය කිරීම, වන විනාශය හා අනවසරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම හඳුනා ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදන තාක්ෂණය භාවිත කොට වන විනාශය පාලනය කිරීම  ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, චන්ද්‍රිකා ඡායාරූප හා භූමි සමීක්ෂණ මඟින් වන ආවරණයේ වෙනස්කම් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, වන ආවරණය අඩුවන ප්‍රදේශ හඳුනාගෙන අදාළ බලධාරීන් දැනුවත් කිරීම සහ වනාන්තරමය ඉඩම්, රක්ෂිත වනාන්තර හා සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කොට අයිතිය නීත්‍යානුකූල කිරීම ද සිදු කෙරේ.හායනයට ලක් වූ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම හා නැවත වන වගා කටයුතු සිදු කිරීම මෙන්ම, වන ආවරණය සම්බන්ධ දත්ත විශ්ලේෂණය කර ඒ අනුව වන සංරක්ෂණ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වෙයි.තවද, වන ඉඩම් අනවසරයෙන් භාවිත කිරීම වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, වන ආවරණය හා පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සහ වන ව්‍යාප්ති කටයුතු ද ක්‍රියාත්මක කරනු ලබයි.මීට අමතරව, ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ගොවි වන වගා හා ප්‍රජාමූලික වන වගා වැඩසටහන් පුද්ගලික අංශය සමඟ සහභාගීත්වයෙන් වන වගා සිදු  කරන බව සභාගත කළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වෙයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks