E   |   த   |  

2021-10-15

පුවත් කාණ්ඩ : පුවත් 

ගැහැණු දරුවන් සහ කාන්තාවන්ගේ ගැටලු හා අයිතීන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිනවා - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

පවතින කොවිඩ් වසංගතය මධ්‍යයේ, ගැහැණු දරුවන්ට ඩිජිටල් උපාංග, තාක්‍ෂණික කුසලතාවන් සඳහා සමාන ප්‍රවේශය ලබා දීමටත්, ඔවුන්ට වඩාත්  ආරක්‍ෂිත පරිසරයක් තුළ කටයුතු කිරීමේ  වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමටත්  නිරතුරුව අප සියලු දෙනා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

2021.10.11 දිනට යෙදී ඇති ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය සමරමින් ඇය නිකුත් කළ පනිවුඩයේ මේ බව සදහන් වේ.

අමාත්‍යවරියගේ පණිවුඩයේ මෙලෙස ද සදහන් වේ.

“කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟම, ඩිජිටල්කරණය කේන්ද්‍ර කරගත් ජීවන රටාවකට හුරුවීමට අප බොහෝ දෙනාට සිදුව තිබේ. මෙම ඩිජිටල්කරණය අපගේ එදිනෙදා ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි බලපා ඇති අතර මෙය විශේෂයෙන් අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍රයන්හි දක්නට ලැබේ.

2018 දී කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වන්නේ වයස අවුරුදු 25 ට අඩු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 47.2% ක පිරිසකට ‘තවමත් නිවසේ අන්තර්ජාල පහසුකම් නොමැති’ බවයි. ඇතැම්විට නව සාමාන්‍යකරණය යටතේ ඩිජිටල්කරණය හරහා රැකියාවට සහ අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී මෙම තත්ත්වය වඩාත් බරපතල විය හැකිය.

2018 දී යුනිසෙෆ් ආයතනය විසින් සිදු කරන අධ්‍යයනයකින් වාර්තා වන්නේ, විශේෂයෙන්, “අවුරුදු 11-18 අතර පිරිමි ළමුන්ගෙන් සියයට 67.6 කට මාර්‍ගගත ප්‍රවේශය ඇති බවත් ගැහැණු ළමුන්ගේ මෙම අගය සියයට 33.1 ක් බවත්ය. ග්‍රාමීය හා වැවිලි ප්‍රජාව තුළ විශේෂයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර එය දීර්ඝකාලීනව පැවතීම යහපත් ප්‍රවණතාවක් නොවේ.

මේ වන තෙක් අවුරුදු 16 දක්වා ගැහැණු හා පිරිමි දරුවන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පවත්වා ගෙන යෑමට  අපට හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 91.7% ක් වන අතර පුරුෂයින් හා සසඳන විට කාන්තාවන් සඳහා වාර්තා වී ඇති සාක්ෂරතා අනුපාතයේ සුළු අඩුවක් තිබේ. කෙසේ වෙතත්, වසංගතයේ බලපෑම නිසා පන්ති කාමරයේ සිට ඔන්ලයින් ඉගැන්වීම් දක්වා  අධ්‍යාපනය ද ඩිජිටල්කරණය වීම   හේතුවෙන් ග්‍රාමීය හා වතුකරයේ විශේෂයෙන්  ගැහැනු දරුවන් ලබා ඇති ජයග්‍රහණ ආපසු හැරෙනු ඇතැයි යන බියක් පවතී. එසේම ගෘහස්ථ හිංසනය වැඩිවීම, දුප්පත්කම, ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනය ගැහැණු ළමයාට අහිමි වීම ආදී අවදානම්ද පවතී.

පවතින කොවිඩ් තත්ත්වය සහ ගැහැණු දරුවාට ඍණාත්මකව බලපාන ඒ සබැදි කරුණු කාරණා හමුවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය නිරන්තරයෙන් කටයුතු කරමින් ඒ සදහා ඔවුනට අවශ්‍ය ශක්තිය නිරතුරුව ලබාදීමටත් කටයුතු කරනු ඇත.”

 



සම්බන්ධිත පුවත්

2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-20

මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 05 ක් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්,  බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්‍රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


2026-11-20

පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග රැසක්

පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමේ අරමුණින් “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 2023 වසරේ සිදු කරන ලද සංගණනය අනුව 29.47% ක් බැවින් පැරිස් ගිවිසුම අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 32% දක්වා ඉහළ දැමිය යුතුව ඇත. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය ලෙස පියවර ගණනාවක් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් වැඩිම වන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයට හිමි අතර එය 62.20% කි. අඩුම වන ඝනත්වය වන 2.05% ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. මෙලෙස, පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව, රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ 'වනස්පති' වැඩසටහන යටතේ පසුගිය වසර දෙකක කාලයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර 113 ට හෙක්ටයාර 71990.26 ක් ඇතුළත් වෙයි. මීට අමතරව, රට තුළ සිදුවන වන විනාශය ඇතුළු වන අපරාධ වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් 2025 නොවැම්බර් මාසයේ සිට 'වන සුරැකුම' නමින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. එම විශේෂ මෙහෙයුම යටතේ 2025 නොවැම්බර් 03 සිට 2026 ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ සිදුවීම් 701 ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදුවීම් 216 කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද සඳහන් වෙයි.වන ආවරණය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අතර, වනාන්තර ආශ්‍රිතව සිදු වන සතුන්ගේ තණ උලාකෑම හා කොළ අතු ආහාරයට ගැනීමෙන් ඇතිවන බලපෑම් මෙන්ම ගිනි තර්ජන පාලනය කරමින් ස්වාභාවික පුනර්ජනනයට අවස්ථාව සැලසීම, දේශීය ශාක විශේෂ රෝපණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීමට  හා පාලනය කිරීමට කටයුතු කෙරෙයි.ජාතික වන ආවරණ සිතියම යාවත්කාලීන කිරීම මඟින් වන ආවරණයේ සිදුවන වෙනස්කම් හඳුනාගෙන අධීක්ෂණය කිරීම, වන විනාශය හා අනවසරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම හඳුනා ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදන තාක්ෂණය භාවිත කොට වන විනාශය පාලනය කිරීම  ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, චන්ද්‍රිකා ඡායාරූප හා භූමි සමීක්ෂණ මඟින් වන ආවරණයේ වෙනස්කම් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, වන ආවරණය අඩුවන ප්‍රදේශ හඳුනාගෙන අදාළ බලධාරීන් දැනුවත් කිරීම සහ වනාන්තරමය ඉඩම්, රක්ෂිත වනාන්තර හා සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කොට අයිතිය නීත්‍යානුකූල කිරීම ද සිදු කෙරේ.හායනයට ලක් වූ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම හා නැවත වන වගා කටයුතු සිදු කිරීම මෙන්ම, වන ආවරණය සම්බන්ධ දත්ත විශ්ලේෂණය කර ඒ අනුව වන සංරක්ෂණ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වෙයි.තවද, වන ඉඩම් අනවසරයෙන් භාවිත කිරීම වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, වන ආවරණය හා පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සහ වන ව්‍යාප්ති කටයුතු ද ක්‍රියාත්මක කරනු ලබයි.මීට අමතරව, ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ගොවි වන වගා හා ප්‍රජාමූලික වන වගා වැඩසටහන් පුද්ගලික අංශය සමඟ සහභාගීත්වයෙන් වන වගා සිදු  කරන බව සභාගත කළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වෙයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks